සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1199

මධුරභාෂිණිය

නා. කන්කලු වදන් ඇත්තිය ; මිහිරි වචන කතා කරන්නිය.

මධුලොල්

1. වි. මධුව කැමති ; මල් පැණියෙහි ලොල් වූ.
නා.ප්‍ර. මී මැස්සා ; භෘංගයා.

මන

1. නා. මානය ; උඩඟුකම ; අහංකාරය.
2. සිත ; මනස; චිත්තය.
3. අදහස ; අභිප්‍රාය ; මතය ; කැමැත්ත.
4. බුද්ධිය.

මන වඩනවා

ක්‍රි. සිත සතුටු කරනවා ; සිත පිනවනවා.

මනඃශිලා

නා.ප්‍ර. රතුපාට පාෂාණ විශේෂයක් ; මනෝසීල නම් වූ ඛනිජය ; රත් හිරියල්.

මනකර

නා.ප්‍ර. සිතිවිල්ල ; කල්පනාව.

මනකල

වි. සිත් අලවන ; මනෝඥ ; මනස්කාන්ත.
නා. කාන්තාව.

මනත

1. නා. ප්‍රමාණය ; පමණ.
2. ඉදිරිය.

මනත්

වි. ප්‍රමාණයට වඩා ; පමණට වැඩි.

මනදොළ

නා.ප්‍ර. සිතේ ආශාව ; අභිලාෂය.

මනනද

වි. සිත සතුටු කරවන ; සිත්කලු ; මනෝඥ ; සිත පිනවන ; ප්‍රසන්න.

මනනය

නා. අවබෝධය ; හේතු සහිත ගන්නා බැස ව නිගමනය.

මනන්නා

නා. මනින තැනැත්තා ; ඉඩකඩම් ධාන්‍ය ආදි දේවල් මනින්නා.

මනමිණි

නා.ප්‍ර. සිතූ පැතූ ලබා දීමේ ශක්තිය දරතැයි විශ්වාසය කරනු ලබන දිව්‍ය මාණික්‍යය ; චින්තා මාණික්‍යය.

මනයොන්

නා.ප්‍ර. අනඞ්ගයා ; කාමදේවයා ; මන්මථයා.

මනරම්

වි. මනෝරම්‍ය වූ ; සිත්ගන්නා වූ ; සිත් අලවන්නා වූ ; සිත්කලු.

මනව්

නා.ප්‍ර. මනා වූ දෙය කල්‍යාණ වූ කටයුතු ; යහපත් දේ ; පින්.

මනස

නා. සිත ; චිත්තය.

මනස්ගතය

නා. ප්‍රයෝජනයක් නැති සිතිවිල්ල ; සිතෙහි පමණක් ඇති වැඩකට නැති කල්පනාව.

මනස්සෘෂ්ටිය

නා. මනඃකල්පිතය ; අද්භූතය ; සිතින් මවාගත් දෙය ; සිහින ලෝකය.

මනසිකාර

නා.ප්‍ර. චිත්ත චෛතසික ධර්ම වෙනත් අරමුණකට යා නො දී එක් අරමුණක තබා ගන්නා ස්වරූපය ; අරමුණට යොමු කරවන ගතිය.

මනහර

වි. සිත් පැහැරගන්නා වූ ; සිත්කලු ; මනෝඥ වූ.

මන්

1. නා.ප්‍ර. සිත ; මනස ; චිත්තය.
2. තමා උසස් ය යන ආකල්පය ; අහංකාරය.
3. මාර්ගය ; මාවත.

මන් අසර

නා.ප්‍ර. මං හසර ; යන එන පාර ; ගමන් මඟ ; සංචාර මාර්ගය.