සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1200

මන්ගර ලාම්පුව

නා. රාත්‍රි කාලයේ දී මසුන් ඇල්ලීමට බෝට්ටුවේ ගෙන යන ලාම්පුව.

මන්තය

නා. පළල් විසිතුරු රැළි පටි සහිත පිට සහ නොහොත් ගෙත්තම් කළ පළල ලොවිච්චිය ; හැට්ටයට කර වටා පිටින් අල්ලන රැල්ල.

මන්තරය

මන්ත්‍රය බ.

මන්තව්‍ය

වි. සිතිය යුතු වූ ; සලකා බැලිය යුතු වූ.

මන්ත්‍ර බණනවා

1. ක්‍රි. මන්තර ජප කරනවා ; මන්තර පුනපුනා කියනවා ; මතුරනවා.
2. සාකච්ඡා පවත්වනවා.

මන්ත්‍රණ සභාව

නා. රාජ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට රැස් වන මහජනයා නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලය.

මන්ත්‍රණය

1. නා. යම් කටයුත්තක් අරමුණු කොටගෙන කීප දෙනකු එකතු වී කරන සාකච්ඡාව ; කළ යුත්තක් පිළිබඳ ව කරන සම්මුඛ සාකච්ඡාව ; සම්මන්ත්‍රණය.
2. රහස් කථාව. ; රහස් සාකච්ඡාව.

මන්ත්‍රය

1. නා. වේද පාඨය ; වේද ග්‍රන්ථයට අයත් එක් කොටසක්.
2. සතුරු භය, රෝග උපද්‍රව ආදිය වැළැක්වීම හා ආරක්ෂාව ඇති කිරීම සඳහා ගුප්ත බලයක් ඇතැයි විශ්වාස කරනු ල බන අභිචාර අංග වශයෙන් භාවිත වන පාඨ විශේෂය.

මන්ත්‍රි

1. නා.ප්‍ර. මන්ත්‍රණය කරන තැනැත්තා ; රජවරුන් සමඟ රාජ්‍ය කටයුතු පිළිබඳ සාකච්ඡා කර උපදෙස් දෙන තැනැත්තා.
2. ඡන්ද කොට්ඨාසයක් නියෝජනය කිරීම සඳහා රාජ්‍ය තන්ත්‍රයට මහජන ඡන්දයෙන් තෝරා පත් කරගන්නා තැනැත්තා ; මහජන නියෝජිතයා.
3. මන්ත්‍ර දන්නා තැනැත්තා.
වි. උපායෙහි දක්ෂ.

මන්ත්‍රි මණ්ඩලය

නා. මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සභාව ; මන්ත්‍රී මඬුල්ල.

මන්ත්‍රිකයා

නා. මන්ත්‍ර මතුරන තැනැත්තා ; මන්ත්‍රකාරයා ; භූත වෛද්‍යයා.

මන්ථනය

නා. කැලතීම ; ඇලළීම.

මන්ථය

1. නා. මත්ගෑම හෙවත් කැලතීම සඳහා ගන්නා උපකරණය ; අලළන දණ්ඩ.
2. (පාරිභා.) තැළීමට කෙටීමට හෝ මිශ්‍ර කිරීමට ගන්නා උපකරණය.
3. අත්සුනු ; විළඳ සුනු ආදිය.

මන්ථර

1. වි. කම්මැලි ; අලස ; ක්‍රියාශීලී නොවූ.
2. මඳ ගමන් ඇති ; සෙමෙන් යන.

මන්ද

1. වි. අල්ප ; ස්වල්ප ; අඩු ; මඳ ; ටික.
2. මත් වූ ; සිහි විකල් වූ.
3. පමා වන.
1. නා.ප්‍ර. වරපට ; වරපටවලින් අඹරා ගන්නා ලණුව ; හරක් බඳින ලණුව ; රැහැන ; යොත.
2. කඹ ආදියෙහි අගට යොදන පුඩුව ; තොණ්ඩුව ; මලපුඩුව.
3. මාදලේ කොටසක් ; දැලේ මත්ස්‍යයන් හිර වන කොටස.
4. සතුන්ගේ ශරීරයෙහි තෙල් සහිත කොටස නොහොත් ඒ කොටස පිහිටා ඇති තැන.
5. මසුන් බහාලීම සඳහා ඔරුවේ ගැට ගසන මල්ල.
6. තෙල් පාකය කරන ක්‍රම තුනෙන් එකක්.
නි. මක් නිසා ද ; මොකද ; කුමන හේතුවක් නිසා ද, යන ප්‍රශ්නාර්ථයෙහි යෙදේ.

මන්ද තානක

(පාරිභා.) වි. කිසියම් නියමිත ප්‍රමාණයකට අඩු වූ ආස්‍රැති පීඩනයක් ඇති ; උපාභිසාරක.

මන්ද දසකය

නා. අවුරුදු සියයක් ජීවත් වන පුද්ගලයාගේ පළමු දස අවුරුද්ද.

මන්ද මතිකයා

නා. බුද්ධිහීනයා ; මෝඩයා.

මන්දගති

1. නා.ප්‍ර. සෙමෙන් ගමන ; ශීඝ්‍ර නොවූ ගමන.
2. උනන්දුවෙන් තොර ස්වභාවය.

මන්දනය

(පාරිභා.) නා. ප්‍රවේගය අඩු වීම ; ප්‍රවේගය අඩු වීමේ ශීඝ්‍රතාව.

මන්දපෝෂණය

නා. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් පෝෂණය ලැබීම ; පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීමෙන් ඇතිවන දුර්වලකම.

මන්දබුද්ධික

වි. නුවණ මඳ ; බුද්ධි හීන.

මන්දමාරුතය

නා. මඳ පවන ; මඳ සුළඟ ; සෙමෙන් හමන සුළඟ.

මන්දයා

1. නා. මෝඩයා ; අඥයා ; කාලකණ්ණියා.
2. රෝගියා.
3. පමාවන තැනැත්තා.
4. ශනි ග්‍රහයා.