සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1201

මන්දර

නා.ප්‍ර. දිව්‍ය ලෝකයේ පවතින පර්වතයක නාමය.

මන්දස්මිතය

නා. මඳ සිනාව ; මන්ද හාසය.

මන්දාකිනී

1. නා.ප්‍ර. තරුවැල ; තුනී වලාකුළකට සමානව අහස හරහා තිබෙන අප්‍රමාණ තාරකා සමූහය ; තාරකා පද්ධතිය ; ක්ෂීර පථය ; අහස් ගඟ ; දිව්‍ය ගංගාව.
2. ගංගා නම් නදිය.
3. හිමාලයෙහි පිහිටි කල්පිත විලක්.
4. දසවැදෑරුම් ඇත්කුලවලින් එකක්.

මන්දාග්නිය

[මන්ද + අග්නිය]
1. නා. බඩගිනි මඳ බව ; මඳ බඩගින්න.
2. ප්‍රමාණවත් නැති ගින්දර.

මන්දානිල

[මන්ද + අනිල]
නා.ප්‍ර. මද සුළඟ ; මන්ද මාරුතය.

මන්දායනය

(පාරිභා.) නා. ද්‍රව්‍යවල ප්‍රත්‍යාස්ථතා සහ චුම්බක ගුණ හා සම්බන්ධව දක්නට ලැබෙන භෞතික සංසිද්ධියක්.

මන්දායුක

[මන්ද + ආයු + ක]
වි. මඳ වූ ආයුෂ ඇති ; දීර්ඝායු නැත්තා වූ.

මන්දායුෂ්ක

වි. ස්වල්ප වූ ආයු ප්‍රමාණය ඇති ; කෙටි ජීවිත කාලය ඇති.

මන්දායුස

නා.ප්‍ර. මඳ වූ ආයුස ; ස්වල්ප වූ ආයු ප්‍රමාණය.

මන්දාර

1. නා.ප්‍ර. දෙව්ලොව ඇතැයි සැලකෙන දිව්‍ය වෘක්ෂ පහෙන් එකක් ; මදාරා.
2. විෂ්ණු දෙව් කිරි මුහුද කැළඹීමට මන්ථය ලෙස ගන්නා ලදැයි පැවැසෙන පර්වතය.
3. කේතුමතී නගරය.
4. ඉතා දුර්ලභ ගස් වර්ගයක් ; රත්සඳුන් ගසට සමාන වූ තේජාන්විත ගස් විශේෂයක්.

මන්දාරම

1. නා. අහස වැසි වලාකුළුවලින් වැසී අඩ අඳුරින් පැවතීම ; වැහි කළුව ; වැහි අඳුර.
2. ඇසෙහි ඇති වන අඳුරු ගතිය.

මන්දැඩි

1. වි. දැඩි මානයෙන් යුත් ; මාන්නය අධික.
2. සිත දැඩි ; අභීත.

මන්දිරය

1. නා. අලංකාර ලෙස තනන ලද විශාල ගෙය ; මැදුර ; මාලිගාව.
2. දෙවියන්ගේ වාසය ; ප්‍රතිමා ධාතු ආදි පූජා වස්තු තැන්පත් කළ ගෘහය.
3. ගලින් කරන ලද ගෙය.

මන්නඩි ගාස්තුව

නා. ඔරුවේ පෙන්වන්නා වන මන්නඩිරාලට ගෙවන ගාස්තුව.

මන්නය

(කථා.) නා. 1. දිගෙන් වැඩි පළල් තලයකින් ද, කොට මිටකින් ද යුක්ත ව විශේෂයෙන් කුස්සියේ වැඩට යොදා ගන්නා කැත්ත වැනි ආයුධයක්.
2. ගස් මැදීමේ දී මල කැපීමට යොදා ගන්නා වකුටු පිහිය.

මන්නියර

(කථා.) නා. කුඹුරුවල එහා මෙහා යෑම් ඊම් සඳහා සාදා ඇති තරමක් විශාල වූ නියර.

මන්මථ

1. නා.ප්‍ර. රාගය ; කාමය.
2. අනංගයා.

මන්මද

නා.ප්‍ර. කාමයට අධිපති දෙවි වන අනංගයා.

මන්යොන්

නා.ප්‍ර. අනංගයා.

මන්යොන්ලිය

නා. අනංගයා ගේ භාර්යාව ; රතී දෙවඟන.

මන්රුවන්

නා.ප්‍ර. සිතූ පැතූ දෑ පහළ කරදෙන මැණික; චින්තා මාණික්‍යය.

මන්වා

නා.ප්‍ර. මනුෂ්‍යයා ; මිනිසා.

මන්විසි

1. වි. මානයට වසඟ.
2. සිතට වසඟ.

මන්‍යය

නා. ගෙල ; බෙල්ල.