සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 123

අනුහාරිත්වය

නා. අනුකරණය කරන බව; අනුකරණය.

අනූන

[අන් + ඌන]
1. වි. අඩු නැති; සම්පූර්ණ.
2. වි. අප්‍රධාන නොවූ; නොදෙවෙනි වූ.

අනූනාධික

[අන් + ඌන + අධික]
වි. ඌනත්වයක් හො අධිකත්වයක් හෝ නැති; හරියට ම හරි.

අනූප

වි. දියට ආසන්න; ජල බහුල වූ; තෙතමනය ඇති.
නා.ප්‍ර. ජල බහුල භූමිය.

අනූපමේය

වි. උපමා නොකළ හැකි.

අනූපේත

[අන් + උපේත]
වි. සම්පන්න; යුක්ත.

අනෘත

වි. අසත්‍ය; බොරු.

අනෙස්න

නා. (විනය.) අයුතු ක්‍රමවලින් සිවුපසය සෙවීම; අන්වේෂණය.

අනේකවිධ

වි. නොයෙක් ආකාර වූ; නානාප්‍රකාර; විවිධ.

අනේකාකෘති

[අනේක + ආකෘති]
(පාරිභා.) වි. බහු රූපාකාරයෙන් ස්ඵටිකීකරණය වන.

අනේකාග්‍ර

වි. ඒකාග්‍ර නැති; එකඟ නැති.
අනේකාන්තවාදය
නා. කිසි දෙයක් ඇත කියා හෝ නැත කියා හෝ ස්ථිර මතයක නොපිහිටීම ලක්ෂණ කොට ඇති දර්ශනය.

අනේකාර්ථ

[අනේක + අර්ථ]
වි. නොයෙක් අර්ථ ඇති; බොහෝ තේරුම් ඇති.

අනේකාවයවතාව

(පාරිභා.) නා. වෙනස් වෙනස් අණුකභාර ඇති වන පරිදි එක ම මූලද්‍රව්‍ය ලෙස සංයෝජනය වී සෑදුණු බව.

අනේවාදහස්

නා.ප්‍ර. නොයෙක් දහස් ගණන් අවුරුදු; බොහෝ වර්ෂ දහස් ගණනක්.

අනේළමුග

වි. කෙළතොලු නොවූ; නුවණැති.

අනෛකාන්තික

වි. ඒකාන්ත නැති; ඒකාන්තයෙන් නොවන; වෙනස් විය හැකි.

අනෛන්ද්‍රිය

(පාරිභා.) වි. ඉන්ද්‍රිය රහිත; අකාබනික.

අනෛන්ද්‍රිය රසායන විද්‍යාව

(පාරිභා.) නා. කාබන් සංයෝග හැර අනිකුත් රසායනික මූලද්‍රව්‍ය හා ඒවායේ සංයෝග පිළිබඳ ව උගන්වන විද්‍යාව.

අනොත්තප්පය

නා. (අභි.) පවට බිය නැතිබව.

අනොබ

නා. අන්‍ය වූ ස්ථානය; අනික් තැන.

අනෝදරික

වි. කෑමෙහි ගිජු නොවූ; කෑදර නැති.

අනෝදිස්සක

වි. යම් තැනැත්තකු උදෙසා නොවූ; එක් පුද්ගලයකුට සීමා නොවූ.

අනෝපමේය

වි. උපමා නොකළ හැකි; අසමාන.

අනෝම

වි. පහත් නොවූ; අලාමක; උසස්; ශ්‍රේෂ්ඨ.