සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1293

යාන්

1. නා.ප්‍ර.රෙදි විවීමට හා මැහීමට ගන්නා නූල්.
2. යහන්.

යාන් කරනවා

ක්‍රි. බිත්තර වී දියෙන් ගොඩට ගෙන අතුරා තබනවා.

යාන් හෑල්ල

නා. කෙළවරක් නැති ව කියා ගෙන යන කියමන ; නිරර්ථක වාගාලාපය.

යාන්කඳ

නා. කරු දෙකක් මත කොන් සිටින සේ තිරස් ව දමන ලද ලීය.

යාන්ත්‍ර උපක්‍රමය

(පාරිභා.) නා. මිනිස් ආදි බලය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදා ගැන්ම ; බලවිද්‍යාව ; යන්ත්‍රණය.

යාන්ත්‍ර කාර්යක්ෂමතාව

(පාරිභා) නා. යන්ත්‍ර භාවිතයෙන් වන වාසිය ; බල විද්‍යාවෙන් කරන වැඩ කටයුතු.

යාන්ත්‍ර වාසිය

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වන ලාභය ; යාන්ත්‍රික ක්‍රම යොදා ගැනීමෙන් ඇති වන පහසුව ; යාන්ත්‍රික ලාභය.

යාන්ත්‍ර විද්‍යාව

(පාරිභා.) නා. යන්ත්‍ර ශාස්ත්‍රය ; ගති විද්‍යාව ; වස්තු කෙරෙහි බල ක්‍රියාකරන අන්දම හැදෑරීම.

යාන්ත්‍ර ශක්තිය

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍රවල බලය ; විද්‍යුත් ශක්තිය.

යාන්ත්‍ර ශිල්පියා

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍රවල වැඩ කරන්නා ; කාර්මිකයා.

යාන්ත්‍රක්ෂමතාව

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමෙන් ඇති වන ශක්තිය ; බලශක්තිය.

යාන්ත්‍රකීය

(පාරිභා.) වි. යන්ත්‍ර සූත්‍රමය වූ ; බල ශක්තිමය වූ.

යාන්ත්‍රජැක්කුව

(පාරිභා.) නා. රථවාහනාදිය ඔසවන බල ශක්තිය කැවූ උපකරණය ; යාන්ත්‍රික ඔසවනය.

යාන්ත්‍රවාදය

(පාරිභා.) නා. සෑම සංසිද්ධියක් ම යාන්ත්‍රික මූලධර්ම අනුව තේරුම් කළ හැකි යැයි යන මතය.

යාන්ත්‍රික

(පාරිභා.) වි. 1. යන්ත්‍ර පිළිබඳ වූ ; යන්ත්‍ර හා සම්බන්ධ ව ; යන්ත්‍රවල උපකාරය ඇති ව.
2. (බුද්ධිය මෙහෙයා නොව) යන්ත්‍රයක් මෙන් ක්‍රියාකරන.

යාන්ත්‍රික අනුකලනය

(පාරිභා.) නා. යන්ත්‍රසූත්‍ර අනුසාරයෙන් අවකලන සංගුණයක දන්නා වූ විචල්‍යය ශ්‍රීතයක අගය සෙවීම.

යාන්ත්‍රික අස්ථායිතාව

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍රවල ස්ථායික ස්වභාවයක් නොමැති බව ; යන්ත්‍රවල ඉබේ වෙනස් වන ස්වභාවය.

යාන්ත්‍රික ඉංජිනේරු

(පාරිභා.) නා.ප්‍ර. යන්ත්‍රසූත්‍ර පිළිබඳව විශේෂයෙන් හදාළ තැනැත්තා ; යන්ත්‍ර සූත්‍ර පිළිබඳ විශේෂ දැනුමක් ඇත්තා.

යාන්ත්‍රික ක්‍රමය

(පාරිභා.) නා. යන්ත්‍රසූත්‍ර මගින් යම් ක්‍රියාවක් කිරීමේ මාර්ගය ; යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් කටයුතු කිරීමේ පිළිවෙල.

යාන්ත්‍රික ජීර්ණය

(පාරිභා.) නා. යාන්ත්‍රික ක්‍රම මගින් කෘත්‍රිම ව සිදු කෙරෙන දිරායාම.

යාන්ත්‍රික නළාව

(පාරිභා.) නා. ශබ්ද නැගීම සඳහා බල ශක්තිය යොදා සකස් කරන ලද උපකරණය.

යාන්ත්‍රික බලය

(පාරිභා.) නා. යන්ත්‍ර සූත්‍ර මගින් ලැබෙන ශක්තිය.

යාන්ත්‍රික මිනිසා

(පාරිභා.) නා. මිනිසකුගේ ස්වරූපයට සමාන වන සේ නිර්මාණය කරන ලද්දා වූ ද, මිනිසකු සේ ම ඇතැම් කාර්ය යාන්ත්‍රික ව කළ හැක්කා වූ ද උපකරණය ; රොබෝ.

යාන්ත්‍රික ලාභය

(පාරිභා.) නා. යාන්ත්‍රීකරණයෙන් වන වාසිය.