සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1414

ලේ නෑකම

නා. මව්ගේ හෝ පියාගේ හෝ පරම්පරාවකින් පැවැත ඒමෙන් ඇති වන ඥාතිත්වය ; විවාහාදි සම්බන්ධයකින් නොව, උපතින්ම ඇති වූ නෑකම ; සලෝහිතත්වය.

ලේ පාචනය

නා. ලේ සහිතව බඩයාම ; පාචනය වීම ; ලේඛඩ යාම ; රක්තාතීසාරය.

ලේ වමනය

නා. මුඛයෙන් ලේ වැමෑරීම ; රක්තඡර්දනය.

ලේ විදිනවා

1. ක්‍රි. (ලේ නහරයක් කැපුණු විට) අධික ලෙස රුධිරය වෑස්සෙනවා ; ලේ නලයක් තුවාල වූ විට ඉතා වේගවත්ව ලේ උතුරා යනවා.
2. කෙනෙකුගේ ශරීරයට රුධිරය ඇතුල් කරනවා.

ලේ විෂ වෙනවා

ක්‍රි. ශරීරයට අහිතකර වූ යම් දෙයක් හේතු කොටගෙන රුධිරයෙහි විෂ ගතියක් ඇතිවෙනවා.

ලේ සීදන්

නා.ප්‍ර. අතීසාර රෝගීන්ගේ අශූචි සමඟ පිටවෙන සෙවල ද්‍රව්‍යය වැඩිපුර නිකුත්වීමෙන් බඩවැල්වල තුවාල සිදු වී බඩවැල්වලින් සීදම් වෙනුවට පිටවන ලෙය.

ලේ සොලවනවා

ක්‍රි. (ශරීරයට) තුවාල සිදුකිරීමෙන් ලේ පිටවීමට සලස්වනවා.

ලේකම්

1. නා.ප්‍ර. සමිතියක හෝ ආයතනයක වාර්තා තැබීමේ කාර්යය භාරව සිටින්නා ; ලේඛකාධිකාරය දරන්නා.
2. ආයතනයක උසස් නිලධාරියකුගේ ලිපි ලේඛන කටයුතු භාරව සිටින්නා.
3. මැති ඇමති ආදී රාජ්‍ය පාලකයින්ගේ කටයුතුවලට සහායවීමට රජයෙන් පත්කරන උසස් නිලධාරියා.
4. විවාහ, උප්පැන්න, මරණ, ලියාපදිංචි කරන නිලධාරියා.
5. ලේඛනය ; ලියවිල්ල.
6. අකුරු ; අක්ෂර.

ලේකම් කරනවා

ක්‍රි. ලියනවා ; සටහන් කරනවා ; ලේඛනගත කරනවා.

ලේකම් පොත

නා. (යමක්) ලේඛනගත කරන පොත ; ලේඛනය ; රෙජිස්ටරය.

ලේකම් මිටිය

නා. පුරාණ ලංකාවේ විවිධ කාර්යාංශ සහ විහාරස්ථාන ආදිය පිළිබඳ අයවැය සහ තවත් විස්තර සඳහන් කළ ලියවිලි සමූහය ; විවිධ සටහන් ඇතුළත් රාජ්‍ය ලේඛන සමූහය.

ලේඛක දෝෂය

නා. ලේඛනයෙහි දී ඇති වන අඩුපාඩුව ; ලිවීමේ දී ලියන්නා අතින් සිදුවන අඩුලුහුඬුකම ; ලිපිදෝෂය.

ලේඛකයා

1. නා. ලිපිකරුවා ; ලියන්නා.
2. ගත් කතුවරයා ; ග්‍රන්ථ රචකයා.
3. පුවත්පත් ආදියට ලිපි සපයන්නා.

ලේඛකාධිකාරී

[ලේඛක + අධිකාරී]
නා. උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නීත්‍යනුකූල වගකීමක් දරන නිලධාරියා.

ලේඛන කලාව

නා. යම්කිසි රටාවකට හෝ සම්ප්‍රදායකට අනුව ලිපි ලේඛන හා පොත් පත් රචනා කිරීමේ ශිල්පය ; ලිවීමේ ශාස්ත්‍රය ; ලේඛන ශිල්පය.

ලේඛන ශෛලිය

නා. ලේඛකයකු ලිවීමේ දී භාවිත කරන රචනා විලාසය ; ලිවීමේ දී අනුගමනය කරන භාෂා රටාව.

ලේඛනගත

1. වි. ලියා තබන ලද ; පොතක ලියා සටහන් කොට තබන ලද.
2. ලියාපදිංචි කළ.

ලේඛනය

1. නා. සීරීම.
2. ලියවිල්ල ; යමක් පිළිබඳ තබන ලද සටහන ; ලියූ හෝ මුද්‍රිත පතපොත.
3. කාර්යාලයක හෝ කිසියම් ආයතනයක හෝ රාජකාරි කරන අය ගේ නම් සඳහන් කළ පොත ; ලැයිස්තුව ; රෙජිස්ටරය.

ලේඛනාගාරය

[ලේඛන + අගාරය]
නා. වටිනා ලිපි ලේඛන ආදිය ආරක්ෂා කොට තැන්පත් කර ඇති රජයේ ආයතනය ; ලියකියවිලි තැන්පත් ගබඩාව.

ලේඛනාරූඪ

[ලේඛන + ආරූඪ]
වි. ලියා තබන ලද ; සටහන් කරන ලද.

ලේඛනී දීපනී

නා.ප්‍ර. බාහිර ජිහ්වා පේශි විශේෂයක් ; කුඩා පේශියක් වූ මෙය දිව ඉහළටත් පිටිපසටත් ඇදීමට උපකාරි වේ ; මෙය කම්මුල් ඇටයෙන් පටන්ගෙන තන්තුවලින් දිවේ මධ්‍යම කොටසට සම්බන්ධ වේ.

ලේඛනීය

නා. ලිවීම සඳහා භාවිත කරනු ලබන උපකරණය ; පන්හිඳ ; පෑන.

ලේඛය

1. නා. ලියමන ; ලිපිය ; හසුන.
2. ලේඛනය (ගල් ආදියෙහි කොටන ලද) ලියවිල්ල ; සන්නස.

ලේඛ්‍ය පත්‍රය

1. නා. යමක් ලිවීම සඳහා භාවිත කරන කොළය ; පත්‍රය.
2. ලිපිය ,ලියුම.