සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 142

අභ්‍යන්තරස්ථ

වි. ඇතුළත පිහිටි; අන්තඃස්ථ.

අභ්‍යන්තරාර්ථය

නා. නියම අර්ථය; සැබෑ අභිප්‍රාය.

අභ්‍යර්ථතාව

නා. විශේෂ ඉල්ලීම; ප්‍රාර්ථනය.

අභ්‍යවකාශය

1. නා. වායුව ද ඇතුළු කිසිවක් නැති අවකාශ ප්‍රදේශය.
2. නා. අහස; අජටාකාශය.

අභ්‍යවහරණය

නා. ආහාර ගැනීම; අනුභවය.

අභ්‍යස්ත

වි. පුරුදු කරන ලද; පරිචිත; පුහුණු කරන ලද.

අභ්‍යාඛ්‍යානය

නා. බොරුවෙන් චෝදනා කිරීම; මිථ්‍යාපවාදය.

අභ්‍යාගත

වි. උරුමයෙන් ලැබුණු.

අභ්‍යාගමනය

නා. ඒම; පැමිණීම; ආගමනය; සම්ප්‍රාප්තිය.

අභ්‍යාස විද්‍යාලය

නා. පුහුණු කටයුතු සිදුකරන විදුහල.

අභ්‍යාසය

1. නා. නැවත නැවත යමක යෙදීම; භාවිතය; පුහුණුව; පරිශීලනය.
2. නා. පුහුණුව සඳහා දෙනු ලබන වැඩ.
3. නා. ළඟ; සමීපය.

අභ්‍යාහත

වි. පහර දෙන ලද; මඩින ලද; ගසන ලද.

අභ්‍යාහිත

වි. තබන ලද; රැස් කරන ලද.

අභ්‍යුච්චය

නා.ප්‍ර. වැඩීම; වර්ධනය.

අභ්‍යුදය

නා. නැඟීම; වැඩිදියුණුව; අභිවෘද්ධිය; සමෘද්ධිය.

අභ්‍යුන්නතිය

නා. උසස් බව; වැඩි දියුණුව; අභිවෘද්ධිය.

අභ්‍යුපගත

වි. එළඹුණු; පැමිණි.

අභ්‍යුපගමය

1. නා. අනුමත කිරීම; පිළිගැනීම.
2. නා. එළඹීම.
3. (ගණිත.) නා. උපකල්පනය.

අභ්‍යුපාය

නා.ප්‍ර. උපක්‍රමය; උපාය.

අභ්‍යුහන

(පාරිභා.) වි. අනුමානික නිදසුන් හා ඔප්පු කරන; ආනුමානික (=inductive).

අභ්‍රකූටය

නා. වලාකුළු; වලාකූටය.

අභ්‍රපටලය

නා. වලාකුළු සමූහය.

අභ්‍රය

1. නා. වලාකුළ; මේඝය.
2. නා. අහස; ආකාශය.
3. නා. දූවිලි.
4. නා. රන්.
5. නා. කපුරු.

අභාග්‍ය

වි. පින්මඳ; අවාසනාවන්ත.