සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 143

අභාජන

වි. පාත්‍ර නොවන; අසමර්ථ; නුසුදුසු; භව්‍ය නොවන.

අභාජ්‍යතාව

(පාරිභා.) නා. නොබෙදිය හැකි බව (=indivisibility).

අභාවප්‍රාප්ත

වි. මියගිය; මළ; විනාශයට ගිය.

අභාවය

1. නා.ප්‍ර. නොවීම; නැතිබව.
2. නා.ප්‍ර. මරණය; විනාශය; දිරාපත් වීම.
3. නා.ප්‍ර. අභාවිතය; අව්‍යවහාරය.

අභාවිත

වි. භාවිත නොකළ; පුරුදු නොකරන ලද.

අභාෂණය

නා. කථා නොකිරීම; නිහඬ වීම; තුණ්හීභාවය.

අභාෂිත

වි. නොකියන; ප්‍රකාශ නොකරන ලද.

අභාස්වර

(පාරිභා.) වි. නොබබළන; නොදිලිසෙන; ප්‍රභා රහිත (=non-luminous).

අභි

උ. සිංහලයෙහි තත්සම වශයෙන් යෙදෙන උපසර්ගයක්; වෙත, ඉදිරිපස, මතුයෙහි, ඉතා අධික, උසස්, ශ්‍රේෂ්ඨ, විශිෂ්ට, අතිශය ආදි අර්ථවල යෙදෙන (තත්සම) උපසර්ගයක්.

අභික්කමන

1. නා.ප්‍ර. ඉදිරියට යෑම; අභිමුඛ වීම.
2. නා.ප්‍ර. ප්‍රහාරය; යුද්ධය.
3. නා.ප්‍ර. නැගීම.

අභිකීර්ණ

වි. විසුරුවන ලද; ඉහින හෙවත් ඉසින ලද; වගුරුවන ලද.

අභිඛ්‍යාව

1. නා. නාමය; අභිධානය.
2. නා. කීර්තිය; යසස.
3. නා. ශෝභාව; ලක්ෂණය.

අභිගත

වි. වෙතට පැමිණි; එළඹි; එළඹුණු; සපැමිණි; සම්ප්‍රාප්ත වූ.

අභිගමනය

1. නා. වෙතට යෑම; එළඹීම; ළඟා වීම; පැමිණීම; සම්ප්‍රාප්ත වීම.
2. නා. ස්ත්‍රීන් වෙත යෑම; කාම සම්භෝගය.

අභිගර්ජනය

නා. භයානක ලෙස ගෙරවීම; ඝෝර නාද කිරීම.

අභිඝාතය

1. නා. වේගයෙන් ගැසීම; ගැටීම; හැපීම.
2.නා. තැළීම; තුවාලය.
3. නා. තැළීමක් හෝ තුවාලයක් හෝ නිසා හටගන්නා උණ; අභිඝාතජ්වරය.
4. නා. මරා දැමීම.

අභිචරයා

නා. අනුගාමිකයා; අනු ව යන තැනැත්තා; සේවකයා.

අභිචාරක

වි. අනවින, කොඩිවින, හදි හූනියම් ආදිය පිළිබඳ වූ.

අභිචාරය

නා. ඒ ඒ සංස්කෘතීන්හි දක්නට ලැබෙන ඇදහිලි, ශාන්තිකර්ම අනුකරණ ආදිය; මිනිසුනට හානි පමුණුවන අනවින කොඩිවින ආදි දේ.

අභිචාරිකාව

නා. පරපුරුෂ සේවනයෙහි යෙදෙන ගැහැනිය, වෙසඟන; අබිසරුලිය.

අභිචින්තනය

නා. නැවත නැවත කල්පනා කිරීම; යළි යළිත් සිතා බැලීම.

අභිජනනය

නා. (ජීව.) බෝවීම; බෝකර ගැනීම (=breeding).

අභිජනයෝ

නා.බහු. මුතුන්මිත්තෝ; පෙර නෑයෝ; පූර්ව ඥාතීහු.

අභිජ්ඣාව

නා. අන්සතු දෙයට ඇති අධික තණ්හාව; දැඩි ලෝභය.