සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1460

වරුථකය

නා. සතුන්ගේ ඇටසැකිල්ලට සම්බන්ධ නැති කොරලක් හෝ එවැනි තහඩුව.

වරුදණ්ඩ

නා. ගොයම් පාගා මඬින විට ආධාරකය ලෙස පාවිච්චි කරන ලීය.

වරුනි

නා.ප්‍ර. මුඛ රෝග වැළඳවීමෙහි සමත් යක්ෂණියකගේ නාමය.

වරුපල්ල

1. නා. වී අටුවේ පතුලේ ඉතිරිවන වී ටික.
2. (කථා.) කොටස ; පංගුව.

වරුපස්ස

(කථා.) නා. ඔරු කඳේ මැද කොටස.

වරුපෙත

නා. කුඹුරු යාය ; කෙත් සමූහය.

වරුමානම

(කථා.) නා. ගේදොර ඉඩකඩම් ආදියෙන් ලැබෙන ආදායම.

වරුව

1. නා. දවල් කාලයෙන් අර්ධය ; පෙරවරුව පස්වරුව.
2. වී බිස්ස.

වරුසාව

නා. වැස්ස.

වරූථය

නා. කෘමිසතුන්ගේ පෘෂ්ඨකය තිබෙන කොටස් තුනෙන් මැද තිබෙන කාෂ්ඨකය.

වරෙත්තුවා

නා. කරත්තයක අත් උදව්වට යන්නා.

වරෙන්තුව

1. නා. යමෙකු අත් අඩංගුවට ගැනීම සඳහා නිසි බලධරයාට තිබෙන අධිකරණ බලය.
2. උසාවියකින් නිකුත් කරන ලද නියෝගයක් හරියාකාරව ක්‍රියාත්මක නොවූ විට නැවත නිකුත් කරන නියෝගය.

වල

1. නා. කැලය ; වනය.
2. සතුන්ගේ වලිගය.
3. වරල ; කෙස්වැටීය.
4. සමූහය.
5. මී මැස්සා.
වි. ගැවසීගත් ; ආකූල.

වලකඩ

නා. පැරණි පහතරට පාලන ක්‍රමය අනුව පේරුවේ විදාන ආරච්චිට අයත් පහතරට පාලන කොට්ඨාසය.

වලකිඳු

නා.ප්‍ර. බෙල්ලේ පිට පැත්ත ; පිටිකර.

වලකූර

නා.ප්‍ර. නූල් කැටීමට ගන්නා සිහින් කෝටුව.

වලකොලහත

නා. කුඹුරු සීසෑම හා කපා පෑගීම අවසානයේ එම වැඩ කළ අයට දෙන අස්වැන්න.

වලකොළ

නා.ප්‍ර. කැලය ; වනාන්තරය.

වලග

[වල + අග]
1. නා.ප්‍ර. වල්ගය ; නගුට.
2. පක්ෂීන්ගේ පෙඳය.
3. හිවලා.

වලග සහල්

නා.ප්‍ර. ඖෂධ වශයෙන් ගැනෙන ඇට වර්ගයක්.

වලගොඩැලි

වි. සමතලා නොවන ලක්ෂණයෙන් යුත්.

වලඟ

නා.ප්‍ර. ඉඟ ; ඉඟටිය ; කුටිය.

වලඤ්ජ

1. නා.ප්‍ර. සලකුණ ; සටහන.
2. අශූචි ; මල.

වලඤ්ජනය

1. නා. භුක්ති විඳීම ; වැළඳීම.
2. පරිශීලනය; පරිහරණය.
3. වැලඳ ගැනීම ; ආලිංගනය.