සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1500

වැක්සිනය

(පාරිභා.) නා. වසූරිය වැනි ඇතැම් බෝවන රෝග වැළැක්වීම සඳහා ශරීරගත කරන ප්‍රතිෂේධක ඖෂධය ; එන්නත.

වැකි

නා.ප්‍ර. වාක්‍ය බ.

වැකිටිය

(කථා.) නා. කම්මැලි බව ; මන්දෝත්සාහි භාවය.

වැකුම්

(පාරිභා.) නා.ප්‍ර. කිසිත් (වාතය පමණවත්) නැති ශූන්‍ය ස්ථාන ; ශුන්‍යය.

වැගිරෙනවා

ක්‍රි. වැක් කෙරෙනවා ; (දියර ආදිය) බේරෙනවා.

වැජඹෙනවා

ක්‍රි. සෞභාග්‍යමත් ව ජීවත් වෙනවා ; බැබළෙනවා ; විජෘම්භමාන වනවා.

වැජියා

නා. වනයේ ජීවත්වන මනුෂ්‍යයා ; වනචාරියා ; වැද්දා.

වැට

1. නා. භික්ෂූන්ගේ ආහාරය ; දාන වෘත්තය ; දන්වැට.
2. ඉඩම් ආදිය වෙන් කිරීම සඳහා ඉනි ආදිය සිටුවා මායිම් දක්වන ආවරණය.
3. පහන ; ප්‍රදීපය.
4. ගසක් මෙන් හෝ වැටක් මෙන් පහන් සමූහය ; පහන් රුක.
5. පහනෙහි තිරය ; වැටිය ; වර්තිකාව.
6. වැටුප ; පඩිය.
7. උවටැන ; උපස්ථානය.
8. පවන් ගැසීමේ උපකරණය ; වටාපත.

වැට කොටු

නා.ප්‍ර. වැටවලින් වට කරන ලද ප්‍රදේශ.

වැටකඩ

නා.ප්‍ර. වැටෙන් පනින්ට තනා ඇති කුඩා කපොල්ල ; වැටකඩුල්ල.

වැටකඩුලු

නා.ප්‍ර. වැට හා ඉන් පනින තැන් ; කඩුලු ආදිය සහිත වැට.

වැටකෙහෙල්

නා.ප්‍ර. පහන් සහ කොඩි.

වැටකෙ‍ෙය

නා. කටු සහිත සිහින් දිග කොළ-කහ වර්ණ පටිවලින් යුත් කොළද ආධාරක මුල්ද සහිත පඳුරු වර්ගයක් ; වැටකේ ; කේතකී.

වැටන් කෝටු

(කථා.) නා.ප්‍ර. වරිච්චි බැඳීමේදී හරහට සවිකරන කෝටු.

වැටනිය

නා. උපස්ථාන කරන්නිය.

වැටපහන

1. නා. පහන්එළිය; ප්‍රදීපාලෝකය.
2. වටපහන ; පිත්තල පහන.

වැටපා

නා.ප්‍ර. වැටට සිටුවන කණු ; වැටේ ඉනි.

වැටපු

නා.ප්‍ර. පහන් ; ප්‍රදීප ; වැටුප්.

වැටම

1. නා.ප්‍ර. වැටුම් පැවැත්ම ; ජීවනය ; ජීවත්වීම.
2. රැකියාව ; වෘත්තිය ; ශිල්පය ; ව්‍යාපාරය.
3. පඩිය ; කුලිය ; වැටුප.
4. වහර ; ව්‍යවහාරය ; පරිහරණය.
5. උපස්ථානය ; පෝෂණය.
6. වැටීම ; පතිතය; පතිතවීම.
7. කරකැවීම ; භ්‍රමණය ; වටා යාම ; ආවර්තය.

වැටලෑම

භා.නා. වැටලීම ; යම් ස්ථානයක් හෝ තැනැත්තකු අල්ලා ගැනීම සඳහා අවට රැකවල් ලෑම ; කොටු කිරීම.

වැටහෙනවා

ක්‍රි. ඒත්තු යනවා ; හැඟෙනවා ; තේරුම් යනවා ; අවබෝධ වෙනවා.

වැටි

1. නා.ප්‍ර. කිසිවක් ඇතුළට පිවිසීම වැළැක්වෙන සේ ගසන මූඩි.
2. වැසි ; වර්ෂා.
3. තිර යෙදූ පහන්.
4. තෙලිකූරු ; පින්සල.
5. ලනු මෙන් ඇඹරූ දෑ ; වෙළුම් ; දඟර.
6. පස්, ගල් ආදියෙන් ස්වභාවික ව සෑදී, නොහොත් සාදනු ලබා පවතින ආවරණ නොහොත් සීමා ; නියර ; වේලි.
7. සමූහ ; කලාප ; මිටි.
8. එක් පොදු දිශාවක් බලා විහිදෙන කඳු පේළි.- ගස්, පඳුරු ආදියෙන් සෑදුණු පේළි.

වැටි පෙරළෙනවා

ක්‍රි. හේන්වල කැපූ බඩවැටි හෙවත් බැද්ද පෙරළා දමනවා.

වැටි බංකුව

නා. කෝටුවලින් සාදාගත් බංකුව ; වාඩිවීම සඳහා තැනූ කෝටු මැස්ස.