සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1508

වෑකරණය

නා. ව්‍යාකරණය බ.

වෑකුල

වි. අවුල් සහිත ; අපැහැදිලි ; පටලැවුණු ; ව්‍යාකූල.

වෑකොඳ

නා.ප්‍ර. කුඩා සුදු මල් සහිත වැල් වර්ගයක්.

වෑගොන්න

නා. දිය රැස් ව තිබෙන වළ ; කුඩා වැව.

වෑදම

නා. කුඹුරේ වැඩ කරන මිනිසුන්ට දිවා කාලයේ දී දෙන ආහාරය ; කයිබත; මුත්තෙට්ටුව.

වෑදෑයම

(කථා.) නා. බලවත් උත්සාහය ; වෙර වීරිය ; මහන්සිය.

වෑදිය

නා. ව්‍යාධිය ; රෝගය.

වෑපාදය

නා. තමන් නොකැමැති අයට විපත් සිදුවනු දැකීමට ඇති කැමැත්ත ; ඊර්ෂ්‍යා පූර්වක ක්‍රෝධය ; ව්‍යාපාදය.

වෑපාරය

නා. වෙළඳාම ; ව්‍යාපාරය.

වෑපාරයා

1. නා. ව්‍යාපාර වස්තු වෙළඳපළේ විකුණන්නවුන් හා ගැනුම්කරුවන් අතර සිටින පුද්ගලයා ; තැරැවුකාරයා ; අතරමැදියා.
2. ව්‍යාපාරිකයා ; වෙළෙන්දා.
3. ජාවාරම්කාරයා.

වෑය

වැහැය බ.

වෑයම

1. නා. ව්‍යායාමය ; උත්සාහය ; ප්‍රයත්නය ; වීර්යය.
2. වෙහෙස ; ආයාසය ; ශ්‍රමය.
3. කාර්යය ; කටයුත්ත ; ක්‍රියාව.

වෑයා

නා.ප්‍ර. දත්, කන් ආදි ස්ථානවලට ආබාධ සිදුකරන ක්ෂුද්‍ර ප්‍රාණියෙක්.

වෑල්වය

නා. ද්‍රවයක හෝ වායුවක ගමන පාලනය කරන කරාමය ; කපාටය.

වෑවර

නා.ප්‍ර. යම්තම් ලොඳ සෑදුණු, බීමට සුදුසු වතුර ඇති ළපටි පොල්ගෙඩිය ; ළපටි කුරුම්බා ගෙඩිය.

වෑවෙනවා

ක්‍රි. දුක් දොම්නස් ආදිය විඳ දරා ගන්නවා ; ඉවසනවා ; වාවාගන්නවා.

වෑසර

නා.ප්‍ර. වැව අසල පිහිටි කුඹුරු ආදි ඉඩම්.

වෑස්ත කතා

(කථා.) නා.ප්‍ර. උඩඟු වචන ; පුරාජේරු බස්.

වෑස්පරය

(කථා.) නා. කතෝලික පල්ලිවල හැන්දෑවේ පවත්වන දේව මෙහෙය ; සන්ධ්‍යා ගීත මෙහෙය.

විංකලය

නා. වැඩපොළ ; පට්ටලය ; වැඩ පට්ටලය.

විංචිය

නා. බර ඔසොවන යන්ත්‍රය ; උත්තෝලකය.

විංශතිය

1. නා. විස්සෙන් යුත් එකකය.
2. ජ්‍යෝතිශ් ශාස්ත්‍රීය විසි අවුරුදු කාල පරිච්ඡේදයක්.

වික

නා.ප්‍ර. ඇටය පිරුණු වී ; බොල් නැති වී.

විකච

වි. පිපුණු ; විකසිත.