සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1507

වැසිකිළිය

නා. මලපහ කරන කුටිය ; වර්චස් කුටිය ; කක්කුස්සිය.

වැසිකිළිවත

නා. වැසිකිළි භාවිතය සම්බන්ධයෙන් භික්ෂූන්ට පනවා ඇති පිළිවෙත.

වැසිකෝඩය

1. නා. වැහිකළුව ; වැසි අඳුර.
2. වැස්ස.

වැසිපටලය

නා. වැසි ජලය සහිත වලාව ; වැහි වලාකුළ ; කළු වලාකුළ.

වැසිපලය

නා. යම්කිසි ප්‍රදේශයකට ලැබෙන වැසි ප්‍රමාණය ; වර්ෂාපතනය.

වැසිපිරිත

නා. නියං කාලවල දී වැසි වැස්වීම සඳහා භාවිත කරන පිරිත ; මත්සරාජ පිරිත.

වැසිපොද

නා.ප්‍ර. වැසිබිංදු ; වැසිදිය බිංදු.

වැසිවදල

නා. වැහි වළාකුළ ; වැහිවදුල.

වැසිසළුව

නා. වස් වසන භික්ෂූන්ට වැසි සාරමස ප්‍රයෝජනය සඳහා පූජා කෙරෙන වස්ත්‍රය.

වැහැප්

1. නා.ප්‍ර. වෘෂභයා ; ගොනා ; හරකා.
2. උත්තමයා ; ශ්‍රේෂ්ඨයා ; උසස් පුද්ගලයා.
3. පුරාණ රජෙකු වූ වසභ රජු.

වැහැය

නා. දැව සැපයීමට ගන්නා (කුඩා උදැල්ලක් වැනි) උපකරණය.

වැහැරී

1. නා.ප්‍ර. ගසක පට්ටා විශේෂයක් ; හණ.
2. රුක් පට්ටාවලින් කළ වස්ත්‍ර වර්ගයක්.
3. වැහැරී චීවරය ; සිවුර.

වැහැරෙනවා

1. ක්‍රි. කෙට්ටු වෙනවා ; කෘශ වෙනවා ; දුර්වල වෙනවා.
2. ව්‍යවහාර වෙනවා.

වැහිඅත්

නා.ප්‍ර. වාහනය ; රථය.

වැහිතළනවා

ක්‍රි. වැස්සෙන් අනතුරු හෝ පීඩා සිදුවෙනවා.

වැහිබීරුම

නා. වැසි ඇති විමේ ලකුණු ; වැහි අඳුර.

වැහෙනවා

1. ක්‍රි. වහනය වෙනවා ; වෑස්සෙනවා.
2. ආවරණය වෙනවා ; වැසී යනවා.
3. යක්ෂ භූත ආදින් ආරූඪ වෙනවා ; යක්ෂ භූත බලවේගයකට නතුවෙනවා.

වැළ

1. නා.ප්‍ර. පැත්ත ; පාර්ශ්වය.
2. පංතිය ; පෙළ.
3. වෙරළ ; ඉවුර.
4.තොටුපළ.

වැළඳෙනවා

ක්‍රි. බෝවෙනවා ; ඇති වෙනවා.

වැළමිට

නා.ප්‍ර. බාහුවේ ඉහළ කොටසත් පහළ කොටසත් සම්බන්ධ වන සන්ධිය.

වැළැක්ම

1. නා.ප්‍ර. යමක් සිදුවීමට ඉඩ නොදීම ; බාධා කිරීම.
2. තහනම් කිරීමේ දඬුවමක්.

වෑ

1. නා.ප්‍ර. බළල් වර්ගයට අයත් මාංශ භක්ෂක සිව්පාවෙක් ; ව්‍යාඝ්‍රයා ; වග.
2. ජලාශය ; වැව ; වාපිය.
3. දත්, කන් ආදි ස්ථානයන්හි ආබාධ සදතැයි සැලකෙන ක්ෂුද්‍ර ප්‍රාණී විශේෂයක්.

වෑ කණ්ඩිය

නා. වැවක වතුර රඳවා තැබීම සඳහා බඳිනු ලබන බැම්ම ; වෑකන්ද.