සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1517

විට්‍රොදන්තිනිය

(පාරිභා.) නා. දත්වල ප්‍රධාන කොටස සකස් වන ඉතා තද ඝන විනිවිද පෙනෙන සිවිය.

විටා වීදුරු

(පාරිභා.) නා.ප්‍ර. සූර්ය රශ්මිය වැද්ද නො දෙන තද දම්පාට වීදුරු වර්ගයක්.

විටි

1. නා.ප්‍ර. පඩි ; වැටුප්.
2. වැස්ස.

විටින්විට

ක්‍රි.වි. වරින්වර ; කලින්කල.

විටියල

1. නා.ප්‍ර. අවශ්‍ය දේ ; උපකරණ ; කළමනා.
2. වෘත්තිය.
3. වියදම.
4. (කථා.) සේවයට සරිලන ගෙවීම ; බරපැන.
වි. අකීකරු ; ධූර්ත.

විටියෙල

නා.ප්‍ර. සිතුවම් ඇඳීමට ගන්නා රතු සහ සුදු හුණු වර්ග.

විටු

නා.ප්‍ර. පහන්තිර ; පහන්කඩ.

විඩම්බකයා

නා. වෙස් වලාගත් තැනැත්තා.

විඩය

නා. වාරය ; වතාව ; විට.

විඩාල

නා.ප්‍ර. බිළාලයා ; බළලා.

විඩාව

නා. වෙහෙස ; මහන්සිය ; තෙහෙට්ටුව.

විණු

නා.ප්‍ර. විෂ්ණු දෙවියා.

විත

1. නා.ප්‍ර. සුරා ආදිය බීම සඳහා භාවිත කරන භාජන විශේෂයක් ; කුසලානය ; බඳුන.
2. මී මැස්සාගේ විෂ සහිත කුඩා දළය.
3. තැටිය.
4. ගොටුව.
5. කුඩා පැස ; සියුම් සිවියෙන් සෑදූ කුඩා මල්ල.
6. ඊ පහර ; හී සැරය.

විතකන

වි. කල්පනා කළ යුතු ; විමසා බැලිය යුතු.

විතක්

නා.ප්‍ර. කල්පනාව ; සිතිවිල්ල ; අදහස.

විතණ්ඩ වාදය

නා. ප්‍රයෝගකාරී වාද විධිය ; විවාදශීලී (පුහු) සාකච්ඡාව ; අදාළ නොවන කරුණු ඉදිරිපත් කරමින් කරන වාදය.

විතණ්ඩය

නා. නිරර්ථක කථාව ; යමක් ගැන සිය අදහස් ඔප්පු නොකොට අනුන්ගේ අදහස් විවේචනය කරන කථාව.

විතත

වි. පැතිරුණා වූ ; විහිදුණා වූ ; ව්‍යාප්ත වූ.

විතතිය

නා. වැඩි වීම ; විශාල වීම.

විතර

1. නා.ප්‍ර. විස්තරය.
2. පළල ; පෘථුලත්වය ; විස්තාරය.
3. ප්‍රමාණය ; පමණ.
4. කැලෑ ආදිය වල් කොටා එළි කිරීම ; ශුද්ධ කිරීම.

විතරණය

නා. දීම ; පරිත්‍යාගය ; ප්‍රදානය කිරීම ; ත්‍යාගය.

විතර්ක මුද්‍රාව

නා. දේශනා විලාසය දැක්වීම සඳහා විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා ආදියෙහි දැක්වෙන හස්ත මුද්‍රා විශේෂය.

විතර්කණය

1. නා. විචාරාත්මක ව තර්ක කිරීම.
2. කල්පනා කිරීම.

විතර්කය

1. නා. කල්පනාව ; අදහස ; සිතිවිල්ල.
2. එතෙක් නොපැමිණි අරමුණකට සිත පමුණුවනු සඳහා කරන උත්සාහය.