සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1518

විත්කනවා

ක්‍රි. ඊ පහරක් වැදෙනවා ; ඊ පහරට ගොදුරු වෙනවා ; විත්කොටනවා.

විත්ත

1. නා.ප්‍ර. සම්පත ; ධනය ; වස්තුව.
2. (කථා.) විජ්ජාව; ඉන්ද්‍රජාලය ; ඇස්බැන්දුම.

විත්තිකාරයා

නා. දෝෂාරෝපණය ලබන තැනැත්තා ; චෝදනාවට ලක්වන තැනැත්තා ; චූදිතයා.

විත්තිකූඩුව

නා. අධිකරණ ශාලාවක චූදිතයා සඳහා වෙන් කරන ලද කොටුව.

විත්ථම්භනය

නා. පිම්බවීම.

විත්දත්

වි. විද්‍යාව උගත්තා වූ ; විද්‍යාව දත් හෝ හැදෑරූ.
නා.ප්‍ර. සංගීත නාට්‍ය ආදී විද්‍යා උගත් පුද්ගලයා ; ගාන්ධර්වයා ; සංගීතඥයා.

විත්පලා

නා.ප්‍ර. මූත්‍ර බොක්ක ; වස්තිපුටය ; මූත්‍රාශය.

විතාන

1. නා.ප්‍ර. වියන ; වහලට යටින් බඳින රෙද්ද ; ඇඳකට දූවිලි ආදය වැටීම වැළැක්වීම සඳහා උඩින් සවි කොට ඇති රෙද්ද.
2. පද්‍ය කාව්‍ය වෘත්ත විශේෂයක් ; මාත්‍රා විස්සකින් යුත් පාද සහිත සිංහල සිවුපද විරිත.

විතාරනවා

ක්‍රි. විචාරනවා ; විමසනවා.

විද

නා.ප්‍ර. යතුරු ආදිය බහාලන සිදුර ; හිල.

විදග්ධ

1. වි. නිපුණ ; ලොල් ; පළපුරුදු ; අභිසක්ත.
2. දක්ෂ ; උගත් ; පණ්ඩිත.
3. දැකුම්කලු ; විචිත්‍ර.
4. නාගරික ; නගරයට අයත්.
5. නොදැවුණු ; නොදිරිවූ.
නා.ප්‍ර. ආහාර නොදිරීමෙන් හටගැනෙන රෝගයක් ; ආමාජීර්ණය.

විදග්ධමධුර ක්‍රීඩා

නා.ප්‍ර. රති ක්‍රීඩාව ; ස්ත්‍රී-පුරුෂ සම්භෝගය.

විදග්ධයා

1. නා. උගත් තැනැත්තා ; පඬිවරයා ; වියතා.
2. ආමරෝගයෙන් පෙළෙන්නා ; ආමාජීර්ණ රෝගියා.

විදනුම්

නා.ප්‍ර. ඉතා ජය ; අධික ජය ; විජය.

විදම

නා. අභිධර්මය ; අභිධර්ම දේශනාව ; විදම් පිටකය.

විදමන

1. නා. දුන්නෙන් විදීම ; ධනුශ්ශිල්පය.
2. සිදුරු කිරීම; හිල් කිරීම.
3. සිදුර ; හිල.
4. වේදනාව ; රිදීම.

විදර්ශක

වි. විදර්ශනා භාවනාවෙහි යෙදී සිටින ; ලෝකය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය වශයෙන් සිහි කරන.

විදර්ශකයා

නා. විදර්ශනා භාවනාව වඩන්නා.

විදර්ශනා චිත්තය

නා. විදර්ශනා භාවනාවෙන් යුතු සිත ; ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසින් දකින සිත.

විදර්ශනා ඥානය

නා. විදර්ශනා වැඩීම සඳහා ප්‍රමාණවත් නුවණ ; ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අනුව විශේෂයෙන් දක්නා නුවණ.

විදර්ශනා භාවනාව

නා. සංස්කාර විභාග කොට, ඒ ඒ කොටස් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම; සංස්කාරධර්ම අනිත්‍යාදී ත්‍රිවිධ ලක්ෂණ අනුව දැකීමට සිත පුරුදු කරන භාවනාව.

විදර්ශනාධුරය

නා. භික්ෂූන් විසින් පිළිපැදිය යුතු දෙ වැදෑරුම් ධුර අතරින් එකක් ; පංචස්කන්ධය අනිත්‍යාදි වසයෙන් මෙනෙහි කිරීමේ ධුරය.

විදර්ශනාබල

නා.ප්‍ර. සංස්කාර ධර්මයන් අනිත්‍යාදි වශයෙන් දැකීමෙන් ලැබෙන නොසෙල්විය හැකි ශක්තිය.

විදර්ශනාව

නා. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් දැකීම.