සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1519

විදල

නා. කොළ රහිත ගස ; පත්‍ර රහිත ගස.

විදසන

නා.ප්‍ර. වැනසීම ; විධ්වංසනය.

විදහනවා

1. ක්‍රි. නැති කරනවා ; දුරු කරනවා.
2. පැහැදිලි කරනවා ; දිග හරිනවා.
3. පතුරුවනවා.

විද්

1. නා.ප්‍ර. විද්‍යාව ; ශාස්ත්‍රය ; ශිල්පය.
2. බුද ග්‍රහයා.
3. ඊ පහර ; ශර ප්‍රහාරය.

විද්දත්

වි. නළුවන්, ගායකයන් හා වාදකයන් සම්බන්ධ ; සංගීතයෙහි ප්‍රවීණ ; ගායන වාදනයෙහි සමර්ථ.

විද්දත් කුලය

නා. නැටීම්, ගැයීම්, වැයීම් ආදි ශිල්ප පාරම්පරිකව හදාරන ගෝත්‍රය ; ගඳඹ කුලය.

විද්දාල

නා.ප්‍ර. සංගීත ශාස්ත්‍රයේ රාග තිස් දෙකෙන් එකක්.

විද්දෝතම

නා.ප්‍ර. රැස් විහිදීම ; බැබළීම; කාන්තිය පැතිරීම ජ්‍යෝතිමත් භාවය.

විද්ධංසනය

නා. නැති කිරීම ; විනාශ කිරීම ; නැසීම ; විධ්වංසනය.

විද්ධරූපය

නා. රූපයක් බලා ඊට හාත්පසින් සමාන වන අඳින හෝ නෙළන හෝ රූපය.

විද්වත්

වි. උගත් ; ශාස්ත්‍ර දත් ; ශාස්ත්‍රධර ; වියත්.

විද්‍යමාන

වි. දක්නට ඇති ; පෙනෙන ; දක්නට ලැබෙන ; පවතින.

විද්‍යාගාරය

(පාරිභා.) නා. විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය.

විද්‍යාඥයා

නා. විද්‍යා විෂයයක ප්‍රවීණයා ; විද්‍යාව පිළිබඳ උසස් දැනුමක් හිමි විශාරදයා.

විද්‍යාත්මක

(පාරිභා.) වි. විද්‍යාවට ගැළපෙන ; විද්‍යා සිද්ධාන්තවලට අනුරූප වන ; ශාස්ත්‍ර යුක්තීන්ට එකඟ.

විද්‍යාධර

1. වි. මන්ත්‍ර ආදී විද්‍යා බලයෙන් අහසින් ගමන් යාමේ බලය අත්කර ගත් දේව විශේෂයක් හා සම්බන්ධ.
2. විද්‍යාව දරන ; ශාස්ත්‍ර දත්.

විද්‍යාධිගමය

නා. ශාස්ත්‍ර විෂයක පරිපූර්ණ දැනුම ; විද්‍යා ඥානයෙහි නෛපුණ්‍යය.

විද්‍යාමය

වි. විද්‍යාව ප්‍රකෘති කොට ඇති ; විද්‍යාවෙන් නිපන් ; විද්‍යාවෙන් සකස් වූ.

විද්‍යාරම්භය

නා. ප්‍රථමයෙන් ම අකුරු කරවීම ; අත්පොත් තැබීම.

විද්‍යාර්ථීයා

නා. විද්‍යා ශාස්ත්‍ර ඉගෙනීමට රුචි තැනැත්තා ; ශාස්ත්‍රය ඉගෙන ගන්නා ; ඡාත්‍රයා ; ශාස්ත්‍රාර්ථියා.

විද්‍යාලයය

නා. විද්‍යාස්ථානය ; විද්‍යා ශාස්ත්‍ර උගන්වන ස්ථානය ; විදුහල.

විද්‍යාලයීය

වි. විදුහලට අයත් ; විද්‍යාලයය හා සම්බන්ධ.

විද්‍යාලාභය

නා. ශිල්ප ශාස්ත්‍ර දැනුම ලැබීම ; ඥානය ලැබීම ; ශාස්ත්‍ර ලාභය.

විද්‍යාව

1. නා. නවීන විද්‍යාව ; භෞතීය ධර්ම පිළිබඳ දැනුම ලබාදෙන ශාස්ත්‍රය.
2. නිරීක්ෂණ, පර්යේෂණ හා තර්කණ යන මාර්ගවලින් ලබාගන්නා ක්‍රමවත් දැනුම.
3. කෙලෙසුන් දුරු කිරීමෙන් අවබෝධ කරන අර්හත් මාර්ග ඥානය ; ආශ්‍රවක්ෂය ඥානය.
4. සිත දියුණු කිරීමෙන් ලබාගන්නා පාරභෞතික ඥානය , බාහිර හාස්කම් දැක්විය හැකි ඥානය.
5. සම්‍යඥානය ; නිවැරැදි වැටහීම.
6. ශාස්ත්‍රය ; ශිල්පය ; විෂය.