සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1523

විදැහීම

නා. පහවීම ; අපගමය ; විජහනය.

විදෑඋපුල්

නා.ප්‍ර. පද්මරාග මාණික්‍යය.

විදෑමිණි

නා.ප්‍ර. පද්මරාග මැණික.

විදිකිදි

නා.ප්‍ර. වත්කම ; වස්තුව.

විදිකිරිය

නා.ප්‍ර. (ව්‍යාක.) විධි ක්‍රියාව ; විධාන ක්‍රියාව.

විදිත

1. වි. ප්‍රකට ; ප්‍රසිද්ධ.
2. දැනගත් ; දන්නා ලද.
නා.ප්‍ර. විජිතය ; රට ; දේශය ; රාජ්‍යය.

විදින කටුව

1. නා. සිදුරු හාරන උල ; තව් සෑදීමට භාවිත කරන උපකරණයක්.
2. වෛද්‍යවරයකු ශල්‍යකර්ම සඳහා උපයෝගී කරගන්නා කුඩා පිහිකටුව.
3. ඉදිකටුව ; සූචිය.

විදිනවා

1. ක්‍රි. හිල් කරනවා ; සිදුරු කරනවා.
2. උල්, කටු, හී ආදිය එල්ල කිරීමෙන් පීඩා කරනවා.
3. (රාගාදියෙන් සිත) රිදවනවා ; පීඩා ඇති කරනවා.
4. (මදුරු, මීමැසි ආදීන්) දෂ්ට කරනවා.
5. මහනවා.
6. සොරා ගන්නවා ; පැහැර ගන්නවා.
7. ඉසිනවා.
8. (බෙහෙත් ශරීරය තුළට) ප්‍රවේශ කරනවා ; එන්නත් කරනවා.

විදිනි

නා.ප්‍ර. විජිනිය ; විජිනිපත ; අවාන.

විදිය

1. නා. ආකාරය ; පිළිවෙළ ; ක්‍රමය.
2. නියමය; විධානය.

විදියරු

නා.ප්‍ර. වන්දිභට්ටයා ; තුති ගී ගයන්නා.

විදීර්ණ

නා.ප්‍ර. පැළීම.

විදු

1. නා.ප්‍ර. විදුලිය ; විද්‍යුල්ලතාව.
2. ඇසිල්ල ; ක්ෂණය.
3. දියමන්ති ; විදුර ; වජ්‍රය.
4. පබළු.
5. විද්‍යාව ; ඥානය.
6. බුධ ග්‍රහයා.
7. විද්වතා ; පඬිවරයා.
8. විත ; මඩම ; චෂකය.
9. වීථිය ; මාර්ගය.
10. යුද්ධයෙහි ජය.

විදුකිඳු

නා.ප්‍ර. රැහැන් වැනි විදුලිය ; විදුලිය පෙළ.

විදුතැන්

නා.ප්‍ර. විද්‍යාස්ථාන ; ශාස්ත්‍රාලය.

විදුදර

නා.ප්‍ර. විද්‍යාධරයා ; දේව විශේෂයක්.

විදුම

1. නා. පබළු ; ප්‍රවාලය.
2. විහිදීම ; පැතිරීම.
3. නැති කිරීම ; විධ්වංසනය.
4. කටු ඇනීමෙන් ලෙඩ සුව කරන වෛද්‍ය ක්‍රමය.

විදුම් කටුව

නා. ආයුධ විශේෂයක්; හිල්, තව් ආදිය විදින කටුව ; අලිස් කටුව ; ආලිස් කටුව.

විදුම්කටු ආමානය

නා. විදීමට ගන්නා කටුවල ප්‍රමාණය දක්වන උපකරණයක්.

විදුමිණ

නා. විද්‍යා නමැති මාණික්‍යය ; අතිශයින් අනර්ඝ වූ විද්‍යාව.

විදුයොත

1. නා. විදුලි කම්බිය ; විදුලි රැහැන.
2. විදුලි පණිවිඩ යැවීමට දිය යටින් යොදනු ලබන පොටවල් කිහිපයකින් යුත් කම්බිය.

විදුර

වි. කෙළවරෙහි පිහිටි ; දූරස්ථ.
1. නා.ප්‍ර. දියමන්තිය ; වජ්‍රය.
2. මැණික් විදින කටුව.
3. වීදුරුව.
4. කුසතණ.
5. කන අසල පවතින මර්මස්ථානයක්.

විදුරත්

නා.ප්‍ර. වජ්‍රයක් අතෙහි ඇති තැනැත්තා වන ශක්‍රදෙව්.

විදුරඹ

නා.ප්‍ර. නරමූත්‍ර.