සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1534

විභව ශක්තිය

(පාරිභා.) නා. පිහිටි මට්ටම හේතුකොට කාර්ය කිරීමට යම් වස්තුවකට ඇති හැකියාව.

විභවගාමී

වි. මෝක්ෂයට ගමන් කරන ; නිවනට යන.

විභවය

1. නා. ධනය ; සම්පත්තිය.
2. නිවන.
3. අනන්තයේ සිට ලක්ෂ්‍යයක් කරා ධන විද්‍යුත් ආරෝපනයක් ගෙන ඒමේදී කෙරෙන කාර්ය ප්‍රමාණය.

විභවි

වි. බොහෝ ධන සම්පත් ඇති ; පොහොසත්.

විභ්‍රමය

1. නා. ලීලාව ; විලාසය.
2. ඔබ මොබ යාම ; කරකැවීම.
3. වැරදි හැඟීම ; සැකය ; අනුමානය.
4. සිත අවුල්වීම.

විභාකර

නා.ප්‍ර. ආලෝක කරන්නා ; සූර්යයා.

විභාග

1. වි. කොටස් කිරීමට අදාළ.
2. කොටස්, අංශ ආදිය හා සම්බන්ධ.

විභාග අධිකාරි

නා.ප්‍ර. විභාග කටයුතු පරිපාලනයේ ප්‍රධාන නිලධාරියා.

විභාග පරීක්ෂකවරයා

නා. විභාගයක් පවත්වන අවස්ථාවේ ඒ පිළිබඳ සෝදිසි කර බලන්නා.

විභාග ශාලාධිපතිවරයා

නා. විභාගයක් පැවැත්වීමේ දී විභාග ශාලාව භාරව සිටින පුද්ගලයා.

විභාගය

1. නා. දැනුම් මට්ටම මැනීම සඳහා පරීක්ෂණය.
2. විස්තරය ; කරුණු සෙවීම.
3. කොටස් කිරීම ; බෙදීම.
4. අංශය ; කොටස.

විභාගාපේක්‍ෂකයා

නා. ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටින තැනැත්තා ; විභාගයට ඉදිරිපත් වන පුද්ගලයා.

විභාවිත

1. වි. විශේෂයෙන් පුරුදු කරන ලද ; විශේෂයෙන් වර්ධනය කළ.
2. ප්‍රකාශිත.

විභීෂණ

වි. භයානක ; භයංකාර.
නා.ප්‍ර. දෙවියකුගේ නාමය ; රාවණ රජුගේ සොහොයුරා.

විභූතිය

1. නා. ඉසුරුමත් බව ; ආඪ්‍ය බව ; සෞභාග්‍යය.
2. විශාලත්වය ; උසස් බව.
3. මනුෂ්‍යත්වය ඉක්මවා ක්‍රියා කිරීම.

විභූෂණය

නා. අලංකාරය ; සැරසීම.

විමංශකයා

නා. සොයා බලන්නා ; පරීක්ෂා කරන්නා ; සෝදිසි කරන්නා.

විමංශන බුද්ධිය

නා. පරීක්ෂා කර බලන නුවණ ; සොයා බලන බුද්ධිය.

විමංශනය

නා. විමසීම ; පරීක්ෂා කර බැලීම ; සෝදිසිය.

විමංසනය කරනවා

ක්‍රි. පරීක්ෂා කරනවා ; සොයා බලනවා ; සෝදිසි කරනවා.

විමංසිද්ධිය

නා. සතර සෘද්ධි පාදවලින් එකක්.

විමට්ඨය

නා. මට්ටම්වීමට තැළීම.

විමත

වි.විරුද්ධ මත ඇති ; එකඟ නොවූ සිත් ඇති.

විමති

1. වි. සැක සහිත ; සංකා ඇති.
2. අඥාන ; මෝඩ.