සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1627

ශාස්තෘක

වි. ආගම් කතුවරුන් ප්‍රභව කොට ඇති ; ශාස්තෘත් හා සම්බන්ධ වූ.

ශාස්වතය

නා. බුද්ධධර්මයේ ප්‍රතික්ෂේප කැරෙන ආත්මය සදාකාලිකය යන මතය දරන අන්තවාදී දර්ශනය.

ශිංගිමෘගයා

නා. කකුළුවා ; කර්කටකයා.

ශික්ෂකයා

නා. හික්මවන්නා ; උපදෙස් දෙන්නා ආචාර්යවරයා ; ගුරුවරයා.

ශික්ෂණය

1. නා. හික්මීම ; විනය.
2. ඉගෙන ගැනීම ; හැදෑරීම.
3. ඉගෙනගනු ලබන විෂය.

ශික්ෂමාණාව

නා. උපසම්පදාව අපේක්ෂාවෙන් විශේෂ ශික්ෂා පරීක්ෂණ යටතේ පුහුණු වන සාමණේරවරිය.

ශික්ෂාකරණ

වි. අධ්‍යාපනය දෙනු ලබන ; උගන්වන.

ශික්ෂාකාමතා

නා.ප්‍ර. ශික්ෂා පද ශීලය මනා කොට රකිනු කැමැති බව ; ශික්ෂාකාමීත්වය.

ශික්ෂාකාමී

වි. හික්මෙනු කැමැති ; විනය ගරුක.

ශික්ෂාතන්ත්‍රය

නා. හික්මවන විධිය සඳහන් ග්‍රන්ථය.

ශික්ෂාදානය

නා. ශාසනයට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය ශික්ෂාව දීම.

ශික්ෂාපණය

නා. ඉගැන්වීම ; හික්මවීම ; අධ්‍යාපනය.

ශික්ෂාපද ශීලය

නා. ශික්ෂාපද සමාදන්වීමෙන් රැකිය යුතු ශීලය ; ප්‍රාතිමෝක්ෂ ශීලය.

ශික්ෂාපද සමාදානය

නා. ශික්ෂා (හික්මීම) පිළිබඳ පිළිවෙතින් හෙවත් සිල්පදවලින් පැවසෙන ප්‍රතිපත්තිවල යහපත් සේ පිහිටීම.

ශික්ෂාපදය

නා. ශික්ෂාවට පිහිට වන පාඨය ; කායික හා මානසික සංවරභාවය ඇති කරවන වාක්‍යය.

ශික්ෂාප්‍රත්‍යාඛ්‍යානය

නා. ශික්ෂාවලින් බැහැරවීම ; ශික්ෂා ප්‍රතික්ෂේප කිරීම ; භික්ෂූත්වය හැර යෑම ; උපැවිදි වීම.

ශික්ෂාපූරණය

නා. අධිශීල අධිචිත්ත අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා පිරීම.

ශික්ෂාලය

නා. හික්මවන තැන ; සිප්හල ; ශාස්ත්‍රාලය.

ශික්ෂාව

1. නා. ඉන්ද්‍රිය සංවරය ; හික්මීම ; විනයානුකූල හැසිරීම.
2. ත්‍රිවිධ ශික්ෂාව ; හැසිරීම.
3. හික්මවන විධිය.
4. ඉගෙනීම ; අධ්‍යයනය ; හික්මීම.
5. බුදුන්වහන්සේ විසින් භික්ෂූණීන් සඳහා පනවන ලද විනය ශික්ෂාපද.
6. ශික්ෂාවේදාංගය.

ශික්ෂිත

වි. හික්මුණු ; සදාචාර සම්පන්න ; ශීලාචාර.

ශික්ෂිතභාවය

නා. හික්මුණු බව.

ශික්ෂිතව්‍ය

වි. හික්මවිය යුතු ; විනයනය කළ යුතු.

ශිඛණ්ඩි

නා.ප්‍ර. මොනරා ; මයුරයා.

ශිඛර

වි. මුදුන් සහිත ; තුඩු සහිත ; උල් වූ.
1. නා.ප්‍ර. රතුකැට නම් මාණික්‍යය.
2. කරාබු නැටි.