සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1643

ෂට් අසාධාරණ ඥාන

නා.ප්‍ර.බහු. බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වූ ඥාන සය.

ෂට් ආයතන

නා.ප්‍ර. චිත්ත චෛතසික ධර්මවලට කාරණා වන ආයතන හය ; චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය, මන යන ආයතන හය.

ෂට් කෝණය

නා. පැති හයකින් යුත් රූපය ; ෂඩශ්‍රය.

ෂට් දර්ශනය

නා. බුද්ධ කාලයෙන් පසු දඹදිව ඇති වූ දර්ශන හය ; සාංඛ්‍ය, න්‍යාය, වෛශේෂික, යෝග, මීමංසා, වේදන්ත යන සය.

ෂට්කය

නා. හයේ ගොඩ ; හයේ සමූහය ; හයේ ඒකකය.

ෂට්ද්වාර

නා.ප්‍ර.බහු. රූප, ශබ්ද ආදි අරමුණු සන්තානයට ඇතුළු වන දොරටු සය.

ෂට්පදී

නා.ප්‍ර. පාද හයක් ඇත්තා වන මී මැස්සා ; භෘඞ්ගයා.

ෂට්භාෂා

නා.ප්‍ර. භාෂා හය ; සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, පෛශාවී, ශෞරසේනි සහ අපත්‍රංස යන භාෂා හය.

ෂට්ල්

නා.ප්‍ර. රෙදි විවීමේ දී හරස් නූල යැවීම සඳහා භාවිත වන උපාංගය.

ෂට්වර්ණ

නා.ප්‍ර. බුද්ධ රශ්මි මාලාවේ වර්ණ හය වන නීල, පීත, ලෝහිත, අවදාත, මාංජිෂ්ඨ, ප්‍රභාෂ්වර.

ෂට්ශාස්තෘ

නා.ප්‍ර. බුද්ධ කාලයෙහි විසූ අන්‍ය ශාස්තෘවරයන් සදෙන ; පූර්ණ කස්සප, මක්ඛලී ඝෝෂාල, නිගණ්ඨනාථපුත්ත, සංජය බෙල්ලට්ඨිපුත්ත, පකුධ කච්චායන, අජිත කේසකම්බල.

ෂඩංක

(පාරිභා.) වි. පැති හයකින් යුක්ත වූ ; කොටස් හයකින් යුක්ත.

ෂඩභිඥා

නා.ප්‍ර. ෂට් අභිඥා බ.

ෂඩශ්‍රය

(පාරිභා.) නා. පැති හයක් හා කෝණ හයක් ඇති රූපය.

ෂඩායතනය

නා. විදර්ශනා ඥානය වැඩීමට භූමි වූ ධර්ම ; ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත යන ආයතන සය.

ෂඩේන්ද්‍රිය

[ෂඩ් + ඉන්ද්‍රිය]
නා.ප්‍ර. ඇස, කන, නාසය, දිව, කය, සිත යන ඉන්ද්‍රිය ධර්ම හය.

ෂණ්මුඛ

නා.ප්‍ර. මුහුණු සයක් ඇත්තා ; කතරගම දෙවිඳු ; ස්කන්ධ කුමාර; කඳ කුමරු.

ෂන්ටය

නා. විදුලිය ධාරාවක් ප්‍රධාන මාර්ගය හැර වෙනස් මාර්ගයකින් යාමට සැලැස්වීමේ කාරකය.

ෂෂ්ට

නා.ප්‍ර. හැට.

ෂෂ්ටම ක්‍රමය

නා. කෝණ මැනීමේ ක්‍රමයක්.

ෂෂ්ඨකයා

(පාරිභා.) නා. වෘත්තයක හයෙන් පංගුවක චාපයක් ආශ්‍රිත ව කෝණික දුර මැනීමේ උපකරණය.

ෂෂ්ඨි

නා.ප්‍ර. සවැනි විභක්තිය හෙවත් සම්බන්ධ විභක්තිය.

ෂැම්පේන්

නා.ප්‍ර. ප්‍රංසයේ ෂැම්පේන් ප්‍රදේශයේ සාදන වයින් වර්ගය.

ෂැලැක්

නා.ප්‍ර. පිරිසිදු කළ ලාක්ෂා.