සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1648

සංකුලන

(පාරිභා.) වි. (ලේ ආදිය) තදවීම සම්බන්ධ.

සංකුලන ඉදිමුම

(පාරිභා.) නා. ලේ එක්රැස් වීමෙන් සිදු වන ඉදිමීම.

සංකුලිත

වි. ගැවසී ගත් ; පිරීගිය ; ආකුල වූ.

සංකුව

1. නා. හක්ගෙඩිය ; සක.
2. සක් නද හා සමාන ධ්වනි නංවන උපකරණය.
3. මාලිමා යන්ත්‍රය ; කොම්පාසුව.

සංකූල දුරාර්තවය

(පාරිභා.) නා. රුධිරවාහිනී තුළ ලේ රැස්වීම නිසා අදාළ ප්‍රදේශයෙහි ඇති වන වේදනා සහගත ඔසප්වීම.

සංකූලතාව

(පාරිභා.) නා. (වෛද්‍ය.) (ලේ, සෙම ආදිය) එක්රැස් වීම.

සංකෘෂ්ටිය

(පාරිභා.) නා. සිරුරෙහි හෘද් කපාට ආදි නාලයක් සිහින් වීම.

සංකේත

1. වි. සලකුණු ඇසුරින් කරන ; ලකුණක් යොදා නිරූපණය කෙරෙන හෝ චිහ්නයක් මගින් නියෝජනය කෙරෙන.
2. නිමිත්තක්, සටහන් කිරීමක්, නාම මාත්‍රයක් වශයෙන් කරනු ලබන.
නා.ප්‍ර. 1, ද්‍රව්‍ය, ශබ්ද, සංඛ්‍යා, සංකල්ප ආදි යමක් නිරූපණය කෙරෙන සලකුණ ; සලකුණක් වශයෙන් යොදා ගන්නා ලාඤ්ඡනය ; එයින් බාහිර වූ විශේෂ කරුණක් හෝ කරුණු කිහිපයක් නියෝජනය කරමින් එහි අර්ථ සාරය ප්‍රකාශ කිරීමේ සංලක්ෂ්‍යය වශයෙන් යෙදෙන ලාඤ්ඡනය.
2. (පාරිභා.) සූත්‍ර වාක්‍යය.
3. (පාරිභා.) එකතුව ; සංග්‍රහය ; සංහිතාව.

සංකේත ඡන්දය

නා. හුදෙක් නිමිත්තක් වශයෙන් ප්‍රකාශ කරනු ලබන කැමැත්ත ; සංකේතයක් වශයෙන් දෙන ඡන්දය.

සංකේත ප්‍රකාශනය

(පාරිභා.) නා. සංකේත මගින් අදහස් හැඟීම් ආදිය ප්‍රකාශනය.

සංකේත වර්ජනය

නා. අනාගතයෙහි දී සිදු කිරීමට සැලසුම් කරන ලද ලොකු වර්ජනයක හෙවත් වැඩ වැරීමක නිමිත්තක් හැටියට කරන සේවා වර්ජනය.

සංකේත සිතියම

(පාරිභා.) නා. සංකේත මගින් කරුණු විග්‍රහ කෙරෙන භූ සිතියම.

සංකේත සිද්ධාන්තය

(පාරිභා.) නා. කල්පිතය ; උපන්‍යාසය.

සංකේත සූත්‍රය

(පාරිභා.) නා. සංකේත අනුසාරයෙන් දක්වන සූත්‍රය.

සංකේතනය

(පාරිභා.) නා. 1. සංඥාව.
2. සංකේත මගින් නිරූපණය කිරීම.

සංකේතවාදය

(පාරිභා.) නා. සංකේත අනුසාරයෙන් අදහස් ප්‍රකාශන ක්‍රමය.

සංකේතාත්මක

වි. සංකේත හෙවත් සලකුණු පිළිබඳ වූ ; සංකේතයක් වශයෙන් සැලකිය යුතු ; සංකේත උපයෝගීත්වයෙන් කරනු ලබන.

සංකේතුව

(පාරිභා.) නා. කේතු රූපාකාර ශාක ව්‍යූහය ; කේතුව.

සංකේන්ද්‍ර

(පාරිභා.) වි. මධ්‍ය පාලනයකින් යුතු ; මධ්‍යගත.
නා.ප්‍ර. එක්රැස් වූ තැන් ; රාශිභූත වූ ස්ථාන.

සංකේන්ද්‍රගත

(පාරිභා.) වි. තනි මධ්‍යස්ථානයකට එක් වුණු ; මධ්‍යගත ; සංකේන්‍ද්‍රිත.

සංකේන්ද්‍රණය

(පාරිභා.) නා. 1. එක් මධ්‍යස්ථානයකට රාශිභූත කිරීම හෝ වීම ; මධ්‍යගත කිරීම.
2. දියරවල උකු ගතිය වැඩිකිරීමෙන් එය බලවත් කිරීම ; සාන්ද්‍රණය.

සංකේන්ද්‍රික

(පාරිභා.) වි. එක ම මධ්‍යස්ථානයකට වට වූ ; එක ම මධ්‍ය ලක්ෂ්‍යයක් ඇති ; ඒක කේන්ද්‍රික.

සංකේන්ද්‍රිත

(පාරිභා.) වි. 1. ඝන බව සංකෝචනය කිරීමෙන් බලය වැඩි කළ ; උකු කළ ; සාන්ද්‍ර.
2. මධ්‍යගත කළ ; එක ම තැනකට එක් වූ.

සංකොටිලතාව

(පාරිභා.) නා. සංයෝජිත බීජ පත්‍ර තිබීමේ ලක්ෂණය ; සංබීජපත්‍රතාව.

සංකෝච

වි. හැකුළුණු ; මුකුලිත.
1. නා.ප්‍ර. හැකිළීම ; මුකුලිත වීම ; සංකෘෂ්ඨය.
2. (යමකින්) මිදීම ; වෙන් වීම.