සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1878

සෞරභ්‍ය

වි. සුවඳ ඇති ; සුගන්ධවත්.
1. නා.ප්‍ර. සුවඳ.
2. ප්‍රසන්නබව.

සෞරාපග

(පාරිභා.) වි. හිරු එළියට භය ඇති.

සෞරාලය

(පාරිභා.) නා. හිරු රැස් ලැබෙන කුටිය නොහොත් ගෙය.

සෞරාවර්තනය

(පාරිභා.) නා. ශාකයක් හිරු එළියට දක්වන ප්‍රතිචාරයක් වශයෙන් නැමීම.

සෞශීල්‍ය

නා.ප්‍ර. යහපත් සිල් ඇති බව.

සෞෂ්ඨව

නා.ප්‍ර. අනර්ඝතාව.

සෞෂුම්න

වි. සුසුම්නාව පිළිබඳ.

සෞහාර්දය

නා. සුහද බව ; මිත්‍රත්වය ; සුහෘද්භාවය.

සෞහිත්‍යය

නා. අධික තෘප්තිය ; මනා තෘප්තිය.

ස’පන්ටයින්

නා.ප්‍ර. මෘදු කොළ පැහැති ඛනිජ විශේෂයක්.

හ

මිශ්‍ර සිංහල හෝඩියෙහි පනස්නව වන අකුර ; තිස් නවවැනි ව්‍යංජනය ; ඌෂ්මාක්ෂරයකි.
නා.ප්‍ර. හය ; සය.

හං

1. නා.ප්‍ර. අඟ ; ශෘඞ්ගය.
2. සම ; හම.
3. සංඝයා.
4. සංඥාව.
5. ඇවිටිලි කිරීම ; කරදර කිරීම.
6. අවසන.
වි. තියුණු නැති ; මොට ; නොකැපෙන.

හංකිචිය

නා. කෙනකුගේ ශරීරයේ කිසිලි ආදි තැන් මෘදු ලෙස ස්පර්ශ කිරීමේ දී ඇති වන පොපියන සුලු ගතිය ; කිති කැවීම ; කිතිය.

හංකුළාව

නා. මයිනහමේ හුළං පිට වන බටය.

හංගනවා

ක්‍රි. නොපෙනෙන සේ සලස්වනවා ; සඟවනවා ; වසන් කරනවා.

හංගඳ

(කථා.) නා.ප්‍ර. ශරීරයෙන් නිකුත් වන අප්‍රිය කර දුර්ගන්ධය ; මිනිසකුගේ සිරුරින් නැගෙන ඩහදිය ගඳ.

හංගොල්ලා

(කථා.) නා. බෙල්ලන් වර්ගයට අයත් ආවරණ කටුව රහිත කුඩා සත්ත්ව වර්ගයක්.

හංදිය

1. නා. මාර්ග දෙකක් හෝ කීපයක් හෝ එක්වන ස්ථානය ; මංසන්ධිය.
2. ශරීරයේ අස්ථි පංජරයේ ඇට දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට බැඳෙන තැන.

හංබංකාරයා

නා. (කථා.) මුස්ලිම් ජන කොට්ඨාසය හඳුන්වන නාමයක්.

හංබාන්

(කථා.) නා.ප්‍ර. කුඩා මුහුදු යාත්‍රා විශේෂයක්.

හංමැටි

නා.ප්‍ර. තෘණ විශේෂයක නාමයක් ; කලාඳුරු ; සම්මැට්ට.

හංවඩු ගහනවා

ක්‍රි. අයිතිය දැක්වීම සඳහා අශ්ව හරක් ආදි සතුන්ගේ ඇගේ ලකුණු පුළුස්සනවා.

හංවඩුව

නා. හංවඩු ගැසීමෙන් කරන ලද ලකුණ ; අඩයාලම.

හංස කකුල්

නා.ප්‍ර. රතු පැහැති ඛනිජ උපධාතුවක් වන සාදලිංගම්.