සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 237

ආහාර විහරණය

නා. කෑම් බීම් හා සම්බන්ධව පැවැත්ම.

ආහාර වෛකල්‍යය

නා. කෑම නැතිකම; ආහාර නොලැබීම.

ආහාර සම්පත්තිය

නා. ප්‍රණීත ආහාරපාන නොඅඩුව ලැබීමේ භාග්‍යය.

ආහාරක්ෂය

නා.ප්‍ර. කෑම නැතිවීම; ආහාර නොවැළඳීම.

ආහාරජ

වි. ආහාරයෙන් උපන්; ආහාර ප්‍රත්‍යයෙන් උපන්.

ආහාරපාන

නා.ප්‍ර. කන බොන දේ; කෑම්බීම්.

ආහාරය

1. නා. සමීපයට ගෙන ඒම;
2. නා. කෑම ගැනීම; බුදීම.
3. නා. කෑ යුතු දෙය; කෑම.

ආහාර්යය

1. නා. ගෙන ඒම; පැමිණ වීම.
2. නා. අට වැදෑරුම් ශස්ත්‍ර කර්ම වලින් එකක්; ඇතුළට ගිය දේ පිටතට ඇද ගැනීම; උද්ධරණය.
3. නා. සතර අභිනයන්ගෙන් එකක නාමය.

ආහාරානුභවය

[ආහාර + අනුභවය]
නා. බොජුන් වැළඳීම.

ආහිණ්ඩනය

නා. එහා මෙහා ගමන් කිරීම; ඇවිදීම.

ආහුනෙය්‍ය

වි. චීවරාදි චතුර්විධ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු; දක්ෂිණාවට යෝග්‍ය; පූජා පිළිගැනීමට සුදුසු.

ආළකය

නා. ඊතලවල ඇද හරින කරුව; දඬු අඬුවක් වැනි උපකරණය; අළුව.

ආළානය

නා. ඇතුන් බඳින ටැඹ හෙවත් කණුව.

ආළාපාළුව

නා. කෙත්වතු ආදියට ඇති වන හානිය; විනාශය.

ආළාහනය

1. නා. මිනී දැවීම.
2. නා. මිනී දවන තැන; සොහොන් භූමිය.

ඇ

ඇ යන්න; සිංහල හෝඩියේ තෙවැනි අකුර සහ ස්වරය.

ඇංස්ට්‍රොම් ඒකකය

(පාරිභා.) නා. ආලෝකයේ තරංග ආයාමය මැනීම පිණිස භෞතික විද්‍යාඥයන් භාවිත කරන දිග ප්‍රමාණය (=angstrom unit).

ඇක

නා. පුරාණ කිරුම් ඒකකයක්; මෑ ඇට දෙකහමාරක බර.

ඇකඩමිය

නා. (උසස්) විද්‍යාලය; ශාස්ත්‍ර ශාලාව.

ඇකය

1. නා. උකුළ; තුරුල්ල.
2. නා. උරය; ළපැත්ත; වක්ෂය.
3. නා. (වණයක) හෑරුණු තැන; වළ ගැසුණු තැන.

ඇක්ටිනියම්

(පාරිභා.) නා.ප්‍ර. යුරේනියම් ලෝපස්වල තිබෙන විකිරණශීලී ලෝහමය මූලද්‍රව්‍යයක් (=actinium).

ඇක්ම

නා. ‘ඇ’ ස්වරය හැඳින්වීම සඳහා යොදන පිල්ල; ‘ැ’ ලකුණ.

ඇක්මෙනවා

1. ක්‍රි. පෑගෙනවා; පා තැබෙනවා.
2. ක්‍රි. පරාජය වනවා; පැරදෙනවා; මැඩෙනවා.
3. ක්‍රි. පසු වනවා; ඉක්ම වෙනවා; අතික්‍රමණය වෙනවා.

ඇක්සයිස්

(පාරිභා.) නා.ප්‍ර. ස්වදේශීය ව උපදනා ද්‍රව්‍ය පිළිබඳ බද්ද; සුරා බද්ද (=excise).