සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 275

ඉල්ලුම් විතතිය

(පාරිභා.) නා. යම්කිසි භාණ්ඩයක අඩු මිල කරණ කොට ගෙන වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබීම (=extension of demand).

ඉල්ලුම් සංකෝචනය

(පාරිභා.) නා. යම්කිසි භාණ්ඩයක වැඩි මිල කරණ කොට ගෙන ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වීම (=contraction of demand).

ඉල්ලුම්කරුවා

1. නා. අපේක්ෂකයා, කිසියම් පදවියකට හෝ විභාගාදියකට හෝ ඉදිරිපත් වන තැනැත්තා.
2. නා. අයදුම්කාරයා; උරුමක්කාරයා; අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නා; හිමිකම් පාන්නා (=claimant).

ඉලාස්ටික්

වි. (රබර් මෙන්) ඇදෙන හැකිලෙන ගතිය ඇති; ප්‍රත්‍යාස්ථ.

ඉලැක්ට්‍රෝස්කෝපය

(පාරිභා.) නා. යම් වස්තූවක විද්‍යුත් ආරෝපණයක් තිබේදැයි දැනගැනීම සඳහා භාවිත කරන උපකරණයක් (=electroscope).

ඉලිනියම්

(පාරිභා.) නා.ප්‍ර. පරමාණුවක ක්‍රමාංක 61 ක් වූ ලෝහමය මූලද්‍රව්‍යය (=illinium).

ඉලිප්සකය

(පාරිභා.) නා. ඉලිප්සාකාර හෙවත් අණ්ඩාකාර ඝන වස්තුව (=ellipsoid).

ඉලිප්සය

(පාරිභා.) නා. අණ්ඩාකාර හෙවත් ඩිම්බාකාර වෘත්තය.

ඉලියනවා

1. ක්‍රි. සොයනවා; පරීක්ෂා කරනවා; අපේක්ෂා කරනවා.
2. ක්‍රි. විචාරනවා; අසනවා.

ඉලුප්පුව

(පාරිභා.) නා. හරස් ලීයක දාරයට වැටෙන සේ පරාලයක් වැනි ලීයක කපා ඇති කෝණාකාර කට්ටය.

ඉලෙක්ට්‍රික්

වි. විද්‍යුතය පිළිබඳ; විදුලි.

ඉලෙක්ට්‍රොකාඩියෝග්රෑම්

(පාරිභා.) නා.ප්‍ර. හෘදයේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වන විවිධ ශාරීරික විදුලි තරංගවල ප්‍රස්තාරික නිරූපණය.

ඉලෙක්ට්‍රොනික

(පාරිභා.) වි. ඉලෙක්ට්‍රෝනය හා සම්බන්ධ (=electronic).

ඉලෙක්ට්‍රෝඩය

(පාරිභා.) නා. විදුලි ධාරාවක් ද්‍රව්‍යයකට හෝ වායුවකට හෝ ඇතුළු කරන ප්ලැටිනම් කොළය හෙවත් තහඩුව.

ඉලෙක්ට්‍රෝනය

(පාරිභා.) නා. පරමාණුවක් සෑදී ඇති මූලික කොටස් තුනෙන් එකක්; ප්‍රෝටෝන හා නියුට්‍රෝන අනෙක් දෙකයි (=electron).

ඉලෙක්ට්‍රෝප්ලේට් කරනවා

(පාරිභා.) ක්‍රි. විද්‍යුත් විච්ඡේදනය මාර්ගයෙන් රිදී ආදි ලෝහයක් ආලේප කරනවා.

ඉව

1. නා. යම්කිසි වස්තුවක් ඇඳින ගැනීමේ (සතුන් කෙරෙහි ඇති) ශක්තිය.
2. නා. ස්වාභාවික ඥානය; සහජ දැනීම.

ඉව අල්ලනවා

ක්‍රි. ගන්ධය ආඝ්‍රාණය කරනවා; ගඳ බලනවා; ගන්ධය අනු ව යම් කිසිවක් ඇඳින ගැනීමට හෝ සොයා ගැනීමට උත්සාහ කරනවා.

ඉවත ලනවා

ක්‍රි. බැහැර කරනවා; අස් කරනවා; අහක් කරනවා; දුරු කරනවා.

ඉවත්තුව

(පාරිභා.) නා. ඉවත් වූව; බැහැර වූ දෙය.

ඉවර

වි. අවසන්; නිම වූ.
1. නා.ප්‍ර. අවසානය; නිමාව; කෙළවර; සමාප්තිය.
2. නා.ප්‍ර. ඉස්පාසුව; විවේකය.
3. නා.ප්‍ර. අවස්ථාව; සුදුසු වේලාව.

ඉවර කරනවා

ක්‍රි. අවසන් කරනවා; කෙළවර කරනවා; හමාර කරනවා; සම්පූර්ණ කරනවා.

ඉවසනවා

1. ක්‍රි. විඳ දරා ගන්නවා; ඉඩ දී සිටිනවා.
2. ක්‍රි. පිළිගන්නවා; බාරගන්නවා; කැමති වෙනවා.

ඉවහල්

වි. ඉතා උපකාර වූ; අතිශයින් සහාය වූ.