සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 274

ඉරු රේඛාව

නා. වෙදැගිල්ලට පහතින් අත්ලෙහි සූර්ය පර්වතය හෙවත් රවි මණ්ඩලය මතුපිට පිහිටා ඇති රේඛාව.

ඉරුවාරදය

නා. සූර්යතාපයේ හෙවත් ඉර අවුවේ අඩු වැඩි වීම අනු ව පවත්නා ඉසරදය.

ඉරේසරය

නා. පැන්සලෙන් හෝ පෑනෙන් ලියන ලද හෝ අඳින ලද යමක් මැකීම සඳහා භාවිත කරන විශේෂ රබර් කැබැල්ල; මකන කෑල්ල.

ඉල ඇටය

නා. ක්ෂීරපායී සතුන්ගේ උරස වට කරමින් කශේරුව දෙපැත්තෙන් ඉදිරියට විහිදී ඇති වක්‍ර වූ අස්ථි යුගල කීපයෙන් එකක්; පර්ශුව.

ඉලක්කම

නා. සංඛ්‍යාවක් හැඟවීමට (1, 2 ආදි වශයෙන්) යොදන ලකුණ; අංකය; නොම්මරය.

ඉලක්කය

නා. විදිනට හෝ වෙඩි තබනට අල්ලනු ලබන එල්ලය; කුරුමානම; ලක්ෂ්‍යය.

ඉලත්තට්ටුව

1. නා. හෙප්පුව; බුලත් තට්ටුව.
2. නා. ප්‍රභූ පන්තියේ අය බත් කනවිට පිඟාන තබා ගැනීම සඳහා පාවිච්චි කරන ලද කුරු අඩිය මෙන් වූ උපකරණයක්.

ඉලපත

නා. අතින් ගත හැකි තරමේ ඉරටු මිටියක් බැඳ සාදා ගැනෙන අතුගාන උපකරණය.

ඉල්

නා.ප්‍ර. වප්, උඳුවප් දෙමස අතර ඇති චන්ද්‍ර මාසය; ඔක්තෝබර මාසයේ මැද භාගයේ සිට නොවැම්බර් මාසයේ මැද භාගය තෙක් ඇති මාසය.

ඉල් උත්සවය

නා. කතරගම මහ දේවාලයේ වාර්ෂික මංගල්‍යයන් අතර අවසාන මංගල්‍යය.

ඉල් උඳුවප් මහ

නා. (ඉල් මාසය හා උඳුවප් මාසය යනු වාච්‍යාර්ථයි) නොවැම්බර් මැද සිට දෙසැම්බර් මැද තෙක් කාලය; කෑම බීම හිඟ කාලය.

ඉල්පෙනවා

1. ක්‍රි. ද්‍රවයකින් උඩට මතුවෙනවා; පාවෙනවා.
2. ක්‍රි. පිටතට ඉස්සෙනවා; නෙරායනවා.
3. ක්‍රි. චංචල වෙනවා; කැලඹෙනවා. උද්දාම වෙනවා.

ඉල්මනයිට්

නා.ප්‍ර. ආග්නේය පාෂාණවල තිබෙන අතිරේක ඛනිජ වර්ගයක්.

ඉල්ලනවා

1. ක්‍රි. තමාට දෙන ලෙස කියනවා; ආයාචනය කරනවා; අයැද සිටිනවා.
2. ක්‍රි. (වෙන්දේසියක දී) තමා බඩුවක් ගන්ට කැමති මිල ප්‍රකාශ කරනවා.

ඉල්ලම

නා. ලෝහ වර්ග හෝ මැණික් හෝ පවතින පස් තට්ටුව.

ඉල්ලම් කූර

1. (කථා.) නා. පොළොවේ මැණික් ඉල්ලුම් තිබේදැයි (පොළොව යට ගසා) පරීක්ෂා කරන කූර.
2. නා. යකඩ ඉන්න; අලවංගුව.

ඉල්ලීම

1. (පාරිභා.) නා. අයිතිවාසිකම් අවශ්‍යතාවන් ආදිය ලබාගැනීම සදහා වගකිවයුතු අය වෙත බලකර සිටීම; අභියෝගය ( = demand).
2. (පාරිභා.) නා. අයිතිවාසිකමක් හෝ හිමිවිය යුත්තක් ඉල්ලා සිටීම (=claim).

ඉල්ලුම

1. (පාරිභා.) නා. පාරිභෝගිකයන් තුළ යම් භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති අපේක්ෂාව; උවමනාව (= demand).
2. (පාරිභා.) නා. නිශ්චිත කාලයක් තුලදී නිශ්චිත වෙළඳපොලක ගැනුම්කරුවන් විසින් එක් එක් නිශ්චිත මිලට ලබාගැනීමට කැමති භාණ්ඩ ප්‍රමාණය.

ඉල්ලුම් අණකරය

(පාරිභා.) නා. ඉල්ලූ විටෙක ගෙවිය යුතු වූ විනිමය බිලක් (=demand draft).

ඉල්ලුම් තැන්පතුව

(පාරිභා.) නා. බැංකුවක පෙරාතුව තැන්පත් කොට ඇති මුදල් ප්‍රමාණය හෝ බැංකුවක් මගින් ගනුදෙනුකරුට ණයට දෙන මුදල් ප්‍රමාණය හෝ ඕනෑ ම අවස්ථාවක ලබා ගැනීම සඳහා ඔහුට ඇති අයිතිවාසිකම (= demand deposit).

ඉල්ලුම් නම්‍යතාව

(පාරිභා.) නා. භාණ්ඩයක හෝ සේවයක මිලෙහි ඒකීය වෙනසක් ඇති වීමෙන් ජනිත වන ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම (=elasticity of demand).

ඉල්ලුම් න්‍යාය

(පාරිභා.) නා. විකිණීමට ඇති භාණ්ඩයක මිල අඩු වැඩි වීමත් සමඟ ඒ භාණ්ඩයට ඇති ඉල්ලුම් ප්‍රමාණය ද අඩු වැඩි වන බව දක්වන න්‍යාය (=law of demand).

ඉල්ලුම් පත්‍රය

නා. යම් කිසිවක් ඉල්ලුම් කිරීමේ ලියවිල්ල; අයදුම් පත්‍රය.

ඉල්ලුම් වක්‍රය

(පාරිභා.) නා. ගැනුම්කරුවන් විසින් එක් එක් විවිධ මිල ගණන් යටතේ මිලට ගනු ලබන විවිධ නිෂ්පාදිත ප්‍රමාණයක් දැක්වෙන ලක්ෂයන් සම්බන්ධ කර අඳිනු ලබන වක්‍රය (=demand curve).