සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 273
ඉරට්ටි
1. නා. කිසිවකුට ගෞරව දැක්වීම සඳහා හෝ තෑගි උදෙසා කරනු ලබන සුරල් සහිත නැටුම.
2. නා. කානු දෙකේ තුවක්කුව.
ඉරණම
නා. සිදුවිය යුත්ත; දෛව නියමය.
ඉරණම් කවි
නා.ප්‍ර. බඹර කැපීමේ දී අවසානයට කියන කවි.
ඉරණ්ඩුව
1. නා. දෙක; යුවල.
2. (කථා.) නා. පංචි කෙළියේදී කවඩි දෙකක් උඩු අතට වැටුණවිට ඊට දෙක වෙනුවට භාවිත කරන වචනය.
ඉරත්තය
නා. ඉතිරි නැති ව බෙදිය හැකි දෙක, හතර, හය ආදි සංඛ්‍යාව; ඔත්තයට විරුද්ධ වචනය.
ඉරන දත
(පාරිභා.) නා. දෙ ඇන්දෙහි ම ඉදිරි දෙපස හතරක් වශයෙන් පිහිටි දිගටි සිහින් උල් දත්; රදනක දන්ත.
ඉරනං ඇටය
නා. ඉලඇටය.
ඉරනවා
1. ක්‍රි. යනවා; ගමන් කරනවා.
2. ක්‍රි. දෙපසට ඇද තීරුවලට වෙන් කරනවා; රෙදි කඩදාසිය ආදිය ඇද කඩනවා; පිහියෙන් හෝ කියතෙන් හෝ දිග අතට පලනවා.
ඉරබටු තරුව
නා. ඉර බැස ගිය නොබෝ වේලාවකින් අපරදිග අහසේ පෙනෙන දීප්තිමත් තාරකාව.
ඉරහඳ කොඩිය
නා. සතර කෝරළයට අයත් සූර්යයාගේත් චන්ද්‍රයාගේත් ලාඤ්ඡනවලින් යුත් ධ්වජය.
ඉරහඳගල
නා. සාමාන්‍යයෙන් පැරණි සිද්ධස්ථානවල දොරටු පාමුල දක්නට ලැබෙන කොටන ලද සත්ත්ව රූප, ලියවැල් ආදියෙන් අලංකෘත අඩ කවාකාර ගල්පුවරුව; සඳකඩපහණ.
ඉර්ධි ප්රාතිහාර්ය
නා. ඍද්ධි බලයෙන් කරනු ලබන ආශ්චර්යවත් ක්‍රියා.
ඉර්ධිය
නා. භාවනානුයෝගී ව ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය; භාවනා
බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය.
ඉර්ෂි
නා.ප්‍ර. මුනිවරයා; ඍෂිවරයා.
ඉරි ගිල්වීම
(පාරිභා.) නා. මැටි භාණ්ඩවල කැටයම් කටුවලින් රේඛා සහ රේඛා චිත්‍ර කපා වර්ණවත් මැටි දියරෙන් පිරවීම (=grooving).
ඉරි පැන්නුම
නා. මතුරා පොළොව මත ඇඳි ඉරක් යමකු ලවා පැන්නවීමෙන් ඔහුට උපද්‍රව පමුණුවන කොඩිවින විශේෂය.
ඉරි මට්ටම
නා. කෙළින් ඉරි ගැහීමට ගන්නා වඩු මෙවලම.
ඉරි මදය
(කථා.) නා. ගසක කඳේ හරි මැද පිහිටි මෘදු කොටස හෙවත් බඩය; මජ්ජාව.
ඉරිකොන්ද
1. නා. පළලින් අඩු දිගින් වැඩි කුඹුරු යාය.
2. නා. කුඹුරක් හෑම සඳහා ලියැදි බෙදා වෙන් කිරීමේ දී ඉතිරිවන කොටස.
ඉරිඩියම්
(පාරිභා.) නා.ප්‍ර. සුදුපාට ඉතා බර ලෝහ වර්ගයක නාමය; ප්ලැටිනම් වර්ගයට අයත්වන ලෝහයක් (=iridium).
ඉරිදෙව්
නා.ප්‍ර. හිරු මඬලට අධිගෘහිත දෙවියා; සූර්ය දිව්‍ය රාජයා.
ඉරිමා උදය
නා. ඉර පායාගෙන එන වේලාව; අරුණෝදය.
ඉරියා පථය
නා. යාම් ඊම්, ඉඳීම් හිටීම්, සැතපීම් යන ශරීරය පවත්වන සතරප්රකාර හැසිරීම.