සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 278

ඉසකේ බහවන මඟුල

නා. පළමු වරට සුබ නැකතකින් කුඩා ළමයකුගේ හිසකෙස් කැපීම පිළිබඳ ව පවත්වන උත්සවය.

ඉසකේපත

නා. කේශ කලාපය; කෙස් වැටිය.

ඉසච්චි

1. (කථා.) වි. පුරුදු වූ ;ඇබ්බැහි වූ.
2. වි. ලෑස්ති; සූදානම්.
3. වි. ඉක්මන්; කලබල.

ඉසච්චි වෙනවා

1. ක්‍රි. පුරුදු වෙනවා; ඇබ්බැහි වෙනවා.
2. ක්‍රි. කෝප වෙනවා; උදහස් වෙනවා.

ඉසච්චිය

1. නා. නිතර ගැවසෙන තැන.
2. නා. ඉඩ ප්‍රස්තාව; සුදුසු ස්ථානය.

ඉසට ගන්නවා

1. ක්‍රි. යමක වගකීම බාර ගන්නවා.
2. ක්‍රි. හිසට උඩින් (කුඩ ආදිය) අල්ලනවා.

ඉසට ගහනවා

(කථා.) ක්‍රි. (වා, පිත්, සෙම් යන තුන් දොස්) ඉසට බලපවත්වනවා.

ඉසටිය

1. නා. හිස; මුදුන; උඩ කොටස.
2. නා. තෝමරය.

ඉසත

නා. හිස තිබෙන පැත්ත; ඉහළ කොටස; කුඹුරක ඉහළ පැත්ත.

ඉසත් තියනවා

(කථා.) ක්‍රි. (ක්‍රිස්ති.) බෞතීස්මයේදී පඤ්ඤා (=godfather) හෝ මඤ්ඤා (=godmother) වශයෙන් ඉදිරිපත් වෙනවා.

ඉසතෙල් ගෑම

නා. අලුත් අවුරුද්ද පිළිබඳ චිරාගත චාරිත්‍රයක් වශයෙන් විශේෂයෙන් පිළියෙල කළ තෙලක් අවුරුද්දේ පළමු ස්නානයට පෙර ශුභ මුහුර්තයකින් හිසේ ගැල්වීම.

ඉසදිය නාවනවා

ක්‍රි. වැඩිවියට පත් වූ ගැහැනු ළමයකු පළමු වරට සුබ නැකතින් නාවනවා.

ඉසදිය මංගල්‍යය

1. නා. දැරියක පළමුවරට මල්වර වීමෙන් පසු ව නැකැත් චාරිත්‍රානුකූල ව ඇය නෑවීම පිළිබඳ උත්සවය.
2. නා. විවාපත් මනාලියකගේ කන්‍යාභාවය තහවුරු කෙරෙන සිංහල මංගල සිරිත; දෙවැනි ගමන.

ඉසපැන් වත් කරනවා

ක්‍රි. නානවා; ස්නානය කරනවා.

ඉසපියනවා

ක්‍රි. වපුරනවා; ඉහිනවා.

ඉසමුඩු

වි. මුඩු කරන ලද හිස ඇති; හිසකෙස් මුලින් ම කැපූ.

ඉසලනවා

1. ක්‍රි. ධාන්‍ය වැනි දැයක් ඉසිනවා; විසුරුවනවා.
2. ක්‍රි. සේසතක් වැනි දෙයක් ඉස මත අල්ලනවා.

ඉසලූ අත

ක්‍රි.වි. හිස හැරුණු දිසාවේ; ඔළුව හැරුණු පැත්තේ.

ඉසවත්

වි. කා ඉතිරි වූ හෝ ඉවත ලූ; ඉඳුල් වූ.

ඉසව්ව

1. නා. පැත්ත; දිශාව; ප්‍රදේශය.
2. නා. අරමුණ; ඉලක්කය.

ඉසවිලි

නා.ප්‍ර. සැරයටි ආදියෙහි මුදුනෙහි යෙදූ විල්ල; මුදුන් විල්ල.

ඉසහසර

නා. ( යමක් ලැබේවායි ) පැතීම; ප්‍රාර්ථනය; චිත්තාභිලාෂය.

ඉසළුව

(කථා.) නා. වැහි අවස්ථාවේ නොතෙමීම සඳහා හිසට අල්ලාගෙන යන තල් අත්ත, කෙසෙල් අත්ත වැනි ආවරණය.

ඉස්

වි. මුදුනෙහි වූ; අග්‍රස්ථානයෙහි වූ; පළමු; මුල්.