සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 292

උගුරුදණ්ඩ

නා. ස්වරාලයේ සිට ශ්වාසනාලිකා දක්වා ඇති ප්‍රධාන ශ්වාස මාර්ගය; ශ්වාසනාලය.

උගුල

නා. අයහපත් අරමුණක් සඳහා අටවනු ලබන උපක්‍රමය; ප්‍රයෝගය; සූත්තරය.

උගුල් කූඩුව

නා. බිත්තර දැමීම සඳහා කිකිළියන් කොටු කරන උගුල් දොරක් සහිත කූඩුව.

උගුල් දොර

නා. යමකු හෝ යමක් ඇතුළු වූ විට ආපසු යා නොහැකි ලෙස නිරායාසයෙන් වැසෙන දොර.

උගුල් මාරුව

නා. උගුල; උපාය.

උගුල්ඉන්න

(කථා.) නා. උගුලක මරුවැල බැඳීම සඳහා නමා නවත්වන ලීය.

උගුල්පත්

(කථා.) නා.ප්‍ර. ගුරුහරුකම; අනුබලය; උනන්දු කරවීම.

උගුල්ලීය

නා. බරකරත්තවල ඒරියකඳට යටින් එල්ලා තබා එය නැවැත්වූ පසු තිරස් ව පවතින සේ කොනක් බිමට ගසනු ලබන ලීය.

උගුසැව්

නා.ප්‍ර. උක් දඬු දුන්නක් ඇත්තා; අනංගයා.

උගුළනවා

1. ක්‍රි. උදුරනවා; ගලවනවා; ඉවත් කරනවා.
2. ක්‍රි. දියාරුවට මල පහ කරනවා; බඩ ගසාගෙන යනවා.

උගුළුමල

(කථා.) නා. උගුලකට සම්බන්ධ කොට තබා ඇති මලපුඩුව.

උගුළුවනවා

1. ක්‍රි. උදුරවනවා; උපුටා දම්මවනවා; ගලවනවා; ඉවත් කරවනවා; නැති කර දමනවා.
2. ක්‍රි. උද්ධරණය කරනවා; උඩට නගා ගන්නවා; මතු කරනවා.
3. ක්‍රි. සිටි තැනින් නැඟිටුවනවා; ඉගිලෙන්නට හෝ පැන දුවන්නට හෝ සලස්වනවා; පලවා හරිනවා.
4. ක්‍රි. දියාරුවට මළපහ කරනවා.

උච්ච වෙනවා

ක්‍රි. (ජ්‍යෝති.) ග්‍රහයන් උසස් ස්ථානයකට යනවා; උත්කෘෂ්ට බලයෙන් යුත් රාශියකට පැමිණෙනවා; උච්චක්ෂේත්‍ර වෙනවා.

උච්චක්ෂේත්‍රය

නා. (ජ්‍යෝති.) උච්ච රාශිය.

උච්චචර්මය

1. (පාරිභා.) නා. අපිචර්මීය සෛලවල බාහිර බිත්තියේ බාහිර ස්තරය වන ජලවාරක ඉටිවැනි අසෛලක ද්‍රව්‍ය (=cuticle).
2. (සත්ව.) නා. අපිචර්මයට උඩින් පිහිටි සිවිය; උඩහම.

උච්චභාගය

නා. රාශියක් තුළ යම්කිසි ග්‍රහයකු උච්ච ව සිටිනා කොටස හෙවත් අංශක ගණන.

උච්චමානය

(පාරිභා.) නා. වායුපීඩනය අනු ව උස මැනීමේ උපකරණය; ඇල්ටිමීටරය.

උච්චරාශිය

නා. ග්‍රහයන්ගේ උසස් රාශිය හෙවත් උත්තුංග වූ ක්ෂේත්‍රය.

උච්චස්තරවලාකුළු

(පාරිභා.) නා.ප්‍ර. අළු හෝ නිලට හුරු වූ ද, අඩි 10,000 ත් 25,000 ත් අතර උසින් පවතින්නා වූ ද කෙඳි ගතියෙන් යුත් ඝන වලාකුළු (=altostratus clouds).

උච්චාටනය

නා. (මන්ත්‍රානුසාරයෙන් සතුරන් රටින්) පලවා හැරීම හෝ කෙනකුගේ රක්ෂාව අත් හැරවීම.

උච්චායම

(කථා.) නා. පාරට්ටුව; කයිවාරුව; චාටු බස.

උච්චාරණය

නා. කීම; ශබ්ද නඟා කතා කිරීම; උසුරුවීම.

උච්චාරණේන්ද්‍රිය

නා.ප්‍ර. උච්චාරණය සඳහා අවශ්‍ය අවයව.

උච්චාවච

වි. උස් පහත්; කුදු මහත්; විවිධ.