සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 301

උත්තමාඞ්ගය

1. නා. හිස; මුදුන.
2. නා. ඇස.
3. නා. පුරුෂ නිමිත්ත; පුරුෂ ලිංගේන්ද්‍රය.

උත්තමාචාර

නා.ප්‍ර. ප්‍රභූවරයකුට ගරු කිරීම පිණිස හමුදා සේනාංකයක් දක්වන පෙළපාලිය.

උත්තමායුෂ

නා.ප්‍ර. වර්ෂ සියයකට අධික ආයුෂ ප්‍රමාණය.

උත්තර

1. වි. ඉහළ; උසස්; ප්‍රධාන; බලවත්.
2. වි. වැඩි; අධික.
3. වි. පසු; අනතුරු; මතු; අනාගත.
4. වි. උතුරු; උතුරු දිශාවට අයත්.
1. නා.ප්‍ර. උසස් බව; වැඩි බව.
2. නා.ප්‍ර. උතුරු දිශාව; උතුර.
3. නා.ප්‍ර. පසු කාලය.
4. නා.ප්‍ර. ප්‍රශ්නයකට දෙන විසඳීම; පිළිතුර.
5. නා.ප්‍ර. ප්‍රතිඵලය.
6. නා.ප්‍ර. නැකතක නාමය; උතුරුපල්.

උත්තර ක්‍රියා

නා.බහු. අවසාන ආගමික කෘත්‍යය; අවමංගල කාර්යය; භූමදාන කෘත්‍යය.

උත්තර ධ්‍රැව තාරකාව

නා. පෘථිවියේ උත්තර ධ්‍රැවය මුදුනින් පිහිටි තාරකාව; ධ්‍රැව තාරකාව.

උත්තර ධ්‍රැවය

නා. පෘථිවි අක්ෂයේ උතුරු කෙළවර; පෘථිවියේ උතුරු කොන.

උත්තර පත

නා. නියඳ පැදුරු වියන අළුවේ නූල් හැදය මත රැඳී තිබෙන පොල්ල; කොන්තලීය.

උත්තර මන්ත්‍රණ සභාව

නා. පාර්ලිමේන්තුවක ව්‍යවස්ථාදායක සභා දෙකක් ඇති කල්හි ඉන් ඉහළ සභාව; සෙනෙට් සභාව; උත්තර මන්ත්‍රී මණ්ඩලය.

උත්තර ලෝකය

නා. පරලොව; මරණින් මතු උපදින ලෝකය.

උත්තර ශාටකය

නා. උඩුකය වැසෙන සේ පොරවන සළුව හෙවත් රෙද්ද; උතුරු සළුව.

උත්තරඞ්ග

නා.ප්‍ර. උළුවස්සට උඩින් සාදා ඇති ආරුක්කුව; ලින්ටලය.

උත්තරච්ඡදය

නා. උඩු වියන.

උත්තරණය

1. නා. එගොඩවීම; එතෙර වීම; තරණය.
2. නා. (රටකට) ගොඩබැසීම.

උත්තරදිශාධිපති

නා. උතුරු දෙසට අධිපතියා; වෛශ්‍රවණයා; කුවේරයා.

උත්තරමානුෂීය

වි. මිනිස් බවට උත්තරීතර වූ; මිනිස් බව ඉක්ම ගිය.

උත්තරවස්ති

1. නා.ප්‍ර. මූත්‍රාශයට බෙහෙත් වස්ති කිරීම පිණිස යොදනු ලබන උපකරණයක්.
2. නා.ප්‍ර. එම උපකරණයෙන් වස්ති කරනු ලබන ඖෂධය.

උත්තරාධිපති

නා. කූවේරයා; වෛශ්‍රවණයා.

උත්තරාභිමුඛ

වි. උතුරට මුහුණ ලා සිටින; උතුරට හැරුණු.

උත්තරායණය

නා. නිරක්ෂ රේඛාවට උතුරින් වූ සූර්යයාගේ ගමන; එම ගමන් වීථිය; සූර්යයා එසේ ගමන් කරන කාලසීමාව.

උත්තරාරණිය

නා. එකට ගැටීමෙන් ගිනි ඉපදවීමට ගන්නා දඬු දෙකෙන් උඩ දණ්ඩ; උඩු ගිනි දණ්ඩ.

උත්තරාර්ධ ගෝලය

(පාරිභා.) නා. පාථිවි ගෝලයෙහි උතුරු අර්ධය (=northern hemisphere).

උත්තරාර්ධය

නා. උතුරු භාගය; පසු භාගය.

උත්තරාලෝකය

(පාරිභා.) නා. උත්තර අක්ෂාංශවල (70°) පමණ රාත්‍රීකාලයෙහි දක්නට ලැබෙන වර්ණවත් රශ්මි කදම්බය (=northern lights).