සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 309

උදකුක්ඛේපය

[උදක + උක්ඛේප]
1. නා. දිය ඔසොවා හාත්පස ඉසීම.
2. (විනය.) නා. මධ්‍යම පුරුෂයකු දියට බැස සිය අතින් ඉසි ජලයෙන් පිරිසිඳිනු ලැබූ ප්‍රදේශය හෙවත් සීමාව.

උදකෝඝය

නා. සැඩ දියපාර.

උදගයනය

නා. නිරක්ෂ රේඛාවට උතුරින් වූ සූර්යයාගේ ගමන; උත්තරායණය.

උදග්‍ර

1. වි. උසස්; උදාර; උත්තම.
2. වි. ඔද වැඩුණු; උඩඟු වූ; අධිකත්වයට පත්.

උදජන

(පාරිභා.) නා.ප්‍ර. ජලකර වායුව; හයිඩ්‍රජන් (=hydrogen).

උදද්දය

නා. හමෙහි හටගන්නා දැවිලි සහිත කූෂ්ඨ රෝගයක්.

උදධි

1. නා.ප්‍ර. මුහුද; සාගරය.
2. නා.ප්‍ර. කළය.

උදන

නා. මුහුද; සාගරය.

උදනවා

1. ක්‍රි. උයනවා; පිසිනවා.
2. ක්‍රි. දල්වනවා; මොළවනවා.
3. ක්‍රි. අවමන් කරනවා; හෙළා දකිනවා; දොස් කියනවා.

උදන්

1. නා.ප්‍ර. ප්‍රීති වාක්‍යය; උදානය.
2. නා.ප්‍ර. මසුන් ඇමුණූ වැල; මාලු වැල.

උදන් අනනවා

ක්‍රි. සොම්නසින් ප්‍රීතිවාක්‍ය පවසනවා.

උදම

1. නා. ඔද වැඩීම; ප්‍රීති ප්‍රමෝදය.
2. නා. චන්ද්‍රසූර්යාදින්ගේ ආකර්ෂණය නිසා සාගර ජලයේ ඇති වන චලනය.

උදම්

1. වි. කැලඹුණු; අසංවර; මත් වූ; උද්දාම වූ.
2. වි. උඩඟු.
3. වි. දරුණු.

උදම් අන්තරය

(පාරිභා.) නා. එක් වඩදියක් හා ඊළඟ බාදිය අතර ජලමට්ටමේ වෙනස (=tidal range).

උදම් රළ

නා. සාගරයෙහි ඇති වන භූ කම්පන හා චන්ද්‍රසූර්යාදින්ගේ ආකර්ෂණය නිසා ඉහළ නඟින රළ පෙළ; වඩදිය; සුනාමිය.

උදය

1. නා. සූර්යාදින්ගේ උදාවීම; උද්ගමය.
2. නා. දිනයෙහි ආරම්භය; පාන්දර; පෙරවරුව.
3. නා. උදයගිර.
4. නා. හට ගැනීම; උත්පත්තිය.
5. නා. අභිවෘද්ධිය; ඓශ්වර්යය.

උදය තාරකාව

නා. උදය කාලයට දීප්තිමත් ව පෙනෙන සිකුරු ග්‍රහතාරකාව; පහන් තරුව.

උදය දිග

නා. නැගෙනහිර දිශාව.

උදය රේඛාව

නා. හිරු උදාවන තැන ඇතැයි සැලකෙන කල්පිත රේඛාව.

උදය සන්ධ්‍යාව

නා. හිරු පායා ගෙන එන වේලාව; පාන්දර.

උදය සිරස

නා. උදාගිරි මුදුන; උදය පර්වත මස්තකය.

උදයග

[උදය + අග]
1. නා.ප්‍ර. නැගෙනහිර දිශාවෙහි පිහිටා ඇතැයි සැලකෙන කල්පිත පර්වතයක්; උදය පර්වතය; උදයගිර.
2. නා.ප්‍ර. අලුයම; උදාසන.

උදයප්‍රාප්ත

වි. අභිවෘද්ධියට පැමිණි; ඓශ්වර්යයට පත්.

උදයබ්බය

නා.ප්‍ර. (අභි.) සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම; හටගැනීම හා විනාශය.