සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 378

ඔරුපිලාව

නා. කුඩා ඔරුව.

ඔරුව

1. නා. ලී කඳන් සෑරීමෙන් තනා ගන්නා ජලයාත්‍රා විශේෂය; ද්‍රෝණිය.
2. නා. රෝගියා බෙහෙතෙහි ගිල්වීම, සිවුරු පඬු පෙවීම ආදි කාර්යයන් සඳහා උපයෝගි කරගන්නා ප්‍රමාණයෙන් විශාල භාජන විශේෂයක්.
3. නා. වීණාවෙහි ඔරුවක හැඩය ඇති කොටස.

ඔරොට්ටය

(කථා.) නා. අත විහිදූ කල මහපටැඟිල්ලේ අග සිට දබරැඟිල්ලේ අග දක්වා ඇති දුර ප්‍රමාණය; වියත.

ඔරොට්ටු වෙනවා

ක්‍රි. අමනාප වෙනවා; උරණ වෙනවා.

ඔරොත්තු දෙනවා

1. ක්‍රි. දරාගත හැකි වෙනවා; ඉසිලිය හැකි වෙනවා; දරා සිටීමේ ශක්තිය තිබෙනවා.
2. ක්‍රි. සෑහෙනවා; පිරිමැහෙනවා; ප්‍රමාණවත් වෙනවා.

ඔරොප්පු වෙනවා

ක්‍රි. අමනාප වෙනවා; තරහ වෙනවා.

ඔරොවිනවා

ක්‍රි. හඬනවා; වැලපෙනවා; දුක් කඳුළු හෙළනවා.

ඔලගුව

1. නා. බඩුබාහිරාදිය කර දෙපස දමා ගෙන යෑම සඳහා රෙදිවලින් තනා ගත් දිග උරය හෝ මල්ල.
2. (කථා.) නා. මඩිය; මඩිස්සලය; පසුම්බිය.

ඔලඹනවා

1. ක්‍රි. එල්ලනවා; අවලම්බනය කරනවා.
2. ක්‍රි. දරනවා; උසුලනවා.
3. ක්‍රි. තිරව (සිත) පිහිටුවනවා; අරමුණෙහි රඳවනවා.
4. ක්‍රි. ඔබ්බනවා; සවි කරනවා.

ඔල්බවනවා

1. ක්‍රි. එල්ලෙන්නට සලස්වනවා; රඳවනවා.
2. ක්‍රි. ලබා දෙනවා; සපයා දෙනවා.
3. ක්‍රි. ආධාර දෙනවා; උදවු කරනවා; රුකුල් දෙනවා.

ඔල්බාව

නා. උපකාර වන දෙය; ආධාරය.

ඔල්මාදය

නා. හොඳ සිහියෙන් තොරබව; සිහිමඳ ගතිය; උමතුව.

ඔල්මොරොන්දන්

(කථා.) වි. පිස්සු විකාර; තේරුමක් නැති.

ඔල්ලම්බෑරිය

1. (කථා.) නා. සරදම; වහසි බස් කීම.
2. නා. නුරුස්නා ගතිය.

ඔල්වරසන්

නා.ප්‍ර. ප්‍රීති ඝෝෂාව; ජය ඝෝෂාව.

ඔල්වාරම්

නා.ප්‍ර. පුරසාරම්; පාරට්ටුව; වහසි බස්.

ඔලිඳ කෙළිය

නා. ඔලිඳ ඇට හා ඔලිඳ පෝරුව ආධාර කරගෙන කරනු ලබන පැරණි ජන ක්‍රීඩාවක නාමය.

ඔලිම්පික් ක්‍රීඩාව

නා. චතුර්වාර්ෂිකව යෙදෙන අන්තර්ජාතික මලල ක්‍රීඩා විශේෂයක නාමය.

ඔලියල

1. නා.ප්‍ර. රෙද්ද; වස්ත්‍රය
2. නා.ප්‍ර. යකැදුරන් නැට්ටුවන් ආදින් හිසේ බැඳීම සඳහා භාවිත කරන ලේන්සුව නැතහොත් රෙදිකඩ.

ඔලිව්

නා.ප්‍ර. මධ්‍යධරණී දේශගුණය පවත්නා රටවල වැවෙන ගසක්; මෙහි ගෙඩිවලින් කෑම සහ ඖෂධ සඳහා තෙල් ලබා ගනු ලැබේ.

ඔලෙයික් අම්ලය

නා. සබන් වර්ග නිපදවීමට උපයෝගී කරගනු ලබන අවර්ණ අම්ල වර්ගය.

ඔලොක්කම

නා. විහිළුව; කවටකම; සරදම.

ඔලොක්කුව

1. නා. ඇනුම්පදය; සරදම; අවඥා සහගත කවටකම.
2. නා. හෙළාදැකීම; නින්දාව; පරිහාසය.