සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 385

ඕසෝන්

(පාරිභා.) නා.ප්‍ර. ඔක්සිජන්වල බහුරූපී ආකාරයක්; විශේෂ ගන්ධයකින් යුත් නීලවර්ණ ඔක්සිකාරක වායුවක්.

ඕසෝන් ගෝලය

නා. ඔක්සිජන් විශාල ප්‍රමාණයක් ඕසෝන් වශයෙන් පවතින ඉහළ වායුගෝලයේ ස්තරයක්; ඕසෝන් ස්තරය.

ඕහිත

වි. බහා තැබූ; ඉවත් කළ හෝ ඉවත් වූ.

ඕළාරික

වි. සියුම් නොවූ; දැඩි; රළු දළ.

ඖ

ඖ යන්න; සිංහල හෝඩියේ දහඅට වැනි අකුර; ස්වර මාලාවේ අවසාන ස්වරය.

ඖචිත්‍යය

1. නා. උචිතබව; යෝග්‍යතාව; සුදුසුබව; නිසිබව.
2. නා. ප්‍රබන්ධයක රස වර්ධනයට හේතුවන යෝග්‍යතා ගුණය.

ඖචිත්‍යවාදය

නා. (අලං.) උචිතතා ගුණය පිළිබඳ සංකල්පය හෙවත් මතය.

ඖත්පාතික

නා.ප්‍ර. (ජ්‍යෝති.) උත්පත්තියේ දී ග්‍රහයන් සිටි ස්ථානවල ග්‍රහචාරය අනු ව ඒ ඒ ග්‍රහයන් පැමිණීමෙන් දශාව කෙරෙහි වන බලපෑම.

ඖදක

වි. උදක හෙවත් දිය හා සම්බන්ධ; ජලජ.

ඖදරීකත්වය

නා. කෑමට ගිජුබව; කෑදරකම.

ඖද්දාලක

නා.ප්‍ර. තුඹස්වල උපදින හෝ එහි වසන කීට ස්වභාව ඇති මැසි වර්ගයක පැණි; තුඹස් මී.

ඖදාර්යය

නා. උදාරත්වය; ශ්‍රේෂ්ඨත්වය.

ඖදාරික

වි. ඕළාරික.

ඖපචාරික

වි. උපචාර වශයෙන් යෙදුණු; අර්ථය ආසන්න වශයෙන් පැවසුණු; අන් අයුරකින් පළ කළ.

ඖපම්‍යය

නා. උපමා ස්වභාවය; සමානත්වය; උපමාව; උපමා කිරීම.

ඖපසර්ගික

1. වි. වෙනත් රෝගියකු ගෙන් වැලඳෙන; රෝගස්පර්ශයෙන් හටගැනෙන; බෝවන.
2. වි. ලිංගික රෝග හෙවත් කාමරෝග පිළිබඳ.

ඖපස්ථිකය

(පාරිභා.) නා. උකුළු ඇටය; ශ්‍රෝණිය (=pelvis).

ඖපාධික

වි. (තර්ක.) බාහිර හේතුවෙන් හටගත්.

ඖරස

වි. උරෙහි දා; තමාට ම ජාතක වූ; ස්වකීය වූ; නීත්‍යනුකූල ව උපන්.

ඖර්ණ

වි. ලොමින් කළ; ලෝම.

ඖෂධ

නා.ප්‍ර. රෝග සුව කිරීම සඳහා ගැනෙන දෑ; බෙහෙත් ඔසු; අගද; අත්බෙහෙත.

ඖෂධවේදියා

(පාරිභා.) නා.ප්‍ර. බෙහෙත් ද්‍රව්‍ය සංයෝජනය කිරීම සම්බන්ධයෙන් පුහුණු වූ තැනැත්තා (=pharmacist).

ඖෂධාලය

[ඖෂධ + ආලය]
නා. බෙහෙත් ශාලාව; රෝගීන් පරීක්ෂා කරන ස්ථානය.

ක

මිශ්‍ර සිංහල හෝඩියේ විසි එක්වැනි අකුර හා පළමුවන ව්‍යංජනාක්ෂරය; අල්ප ප්‍රාණාක්ෂරයක් වූ මෙය බොටුවෙන් උපදින නිසා කණ්ඨජාක්ෂරයක් වේ.
1. නා.ප්‍ර. සිරුර; ශරීරය.
2. නා.ප්‍ර. ජලය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. වල්ගාතරුවක නාමය.
4. නා.ප්‍ර. අහස.
සර්ව. කවරෙක්.