සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 386

ක(ර්)සරය

(පාරිභා.) නා. යතුරුලියනය සඳහා පරිගණක යන්ත්‍රය සූදානම් කළ විට (යතුරු ලියනය වන) ස්ථානය පෙන්නුම් කරමින් මොනිටරයේ දිස්වන සලකුණ.

කංකතය

(පාරිභා.) නා. පනාවක අයුරින් තන්තු පෙළක් සහිත අක්ෂයකින් නිර්මාණය වූ ගොළුබෙලි වර්ගයේ සතුන් ගේ ශ්වසන ඉන්ද්‍රිය හෝ කරමලය (=ctenidium).

කංකතිකයා

(පාරිභා.) නා. මුහුදු මල් කොරල් වැනි සිලෙන්ටරටා වංශයට අයත් සතෙක් (=ctenophore).

කංකය

නා. සැකය; කුකුස.

කංකරච්චලය

(කථා.) නා. දෙසවනට පීඩාවක් ලෙස දැනෙන අමිහිරි ශබ්දය; අමිහිරි ලෙස කෑකෝ ගැසීම.

කංකානම

1. නා. කම්කරුවන් වැඩෙහි යොදවන්නා; වැඩ පරීක්ෂකයා.
2. නා. පැරණි සිංහල නිල නාමයක්; ආරච්චි පදවියට පහළින් වූ කනිෂ්ඨ නිලයක්.
3. නා. (රෝහලක) සාත්තු සේවකයා; උපස්ථායකයා.

කංකාරිය

1. නා. භූත, ග්‍රහ දේව ආදින් ගෙන් පැමිණෙන දෝෂ දුරු කරනු සඳහා පවත්වනු ලබන ශාන්ති කර්මයක්.
2. (කථා.) නා. විවාහ මංගල්‍යය.

කංකාල පේශිය

(පාරිභා.) නා. එක් කෙළවරකින් හෝ දෙකෙළවරකින් හෝ ඇටසැකිල්ලට සම්බන්ධ වී ඇති මාංශ පේශිය (=skeletal muscle).

කංකාලය

නා. ඇටසැකිල්ල; අස්ථි පංජරය.

කංකුළ

නා.ප්‍ර. එක් කැණිමඬලක් යොදා සැදූ වටගෙය; කූටාගාරය; කුළුගෙය.

කංකෙඳිරිය

(කථා.) නා. ඇවිටිල්ල; නොනවත්වා කරන මිමිණීම.

කංගොටුව

නා. කනෙහි පිට කොටස; පිට කන.

කංස

1. නා.ප්‍ර. ලෝකඩ; තුත්තනාගම්.
2. නා.ප්‍ර. ගුරුලේත්තුව.
3. නා.ප්‍ර. තූර්ය භාණ්ඩ විශේෂයක්; අත්තාලම; කයිතාලම.
4. නා.ප්‍ර. මිනුම් විශේෂයක්; ද්‍රෝණයෙන් සතරෙන් කොටස; සිව්සැට පලම.
5. නා.ප්‍ර. කහවණු සතරක් අගනා ලෝහ කාසියක්.

කංසකාර

නා.ප්‍ර. ලෝකඩ වැඩ කරන්නා; ලෝකුරුවා; ඝණ්ටා සාදන්නා.

කංසකුට

නා.ප්‍ර. රන් වෙනුවට අගයෙන් අඩු පිත්තල හෝ රන් ආලේප කළ ලෝහ ව්‍යාජ ලෝහාදියක් හෝ වෙනත් හෝ දී අනුන් රැවටීම.

කංසතාල

නා.ප්‍ර. දෑතින් එකිනෙක ගටා තියුණු ශබ්ද නැංවීම සඳහා ගැනෙන කුඩා ලෝකඩ තැටි; අත්තාලම්; කයිතාලම්.

කංසලෝහ

නා.ප්‍ර. ඊයම් හා තඹ මිශ්‍ර කොට සාදා ගන්නා ලෝහ වර්ගයක්; ලෝකඩ.

කකච

නා.ප්‍ර. කියත; ලී ඉරීමට ගන්නා දැති සහිත උපකරණය.

කකණ්ටකයා

නා. කටුස්සා; බොහොඬා.

කක්කටය

(කථා.) නා. දොළහ කෙළියේ දී කවඩි හය ම උඩුකුරු ව වැටීමෙන් ලැබෙන ශූන්‍ය අය.

කක්කලය

නා. මාළු දැලෙහි මඩියෙහි කට වටේට ඇති ඇස් හෙවත් සිදුරු පෙළ.

කක්කල් කැස්ස

නා. බැක්ටීරියාවක් නිසා සෑදෙන හුස්ම ගැනීමට නොහැකි වන තරමට ඇති නොනවතින කැස්ස; මෙය විශේෂයෙන් ම කුඩා ළමයින්ට සෑදෙන බෝවෙන රෝගයකි.

කක්කාලය

(කථා.) නා. මාල, හවඩි ආදියෙහි දෙකොන එකට අමුණන කොක්ක; ගාංචුව.

කක්කිස

1. නා.ප්‍ර. දුක්; කරදර; කම්කටොලු දොම්නස්.
2. (කථා.) නා.ප්‍ර. රෝගය; අසනීපය; ලෙඩ.
3. (කථා.) නා.ප්‍ර.කලබලය; ඉක්මන; හදිසිය.
4. (කථා.) නා.ප්‍ර. හදිසි කටයුතු; වහා කළ යුතු දේ.