සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 387

කක්ෂ සූත්‍රය

නා. සිටි බුදුපිළිම සහ හුන් පිළිම සෑදීමේදී භාවිත කරන එක් ප්‍රධාන ලඹ නූලක්; කිසිලි ලඹ නූල.

කක්ෂය

1. නා. ග්‍රහවස්තු අභ්‍යවකාශය තුළ ගමන් ගන්නා මාර්ගය.
2. නා. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන මාර්ගය.
3. නා. කැලෑව; වන ළැහැබ.
4. නා. වැල; ලතාව.
5. නා. කිහිල්ල.
6. නා. ප්‍රාසාදයක විශේෂයෙන් ආරක්ෂිත වූ රහස් කොටස.
7. නා. සම තත්ත්වය; සමතාව; සමානත්වය.
8. (පාරිභා.) නා. ගසක කොළයටත් කඳටත් අතර හෝ අත්තටත් කඳටත් අතර හෝ ඇති ඉහළ කෝණය (=axil).

කකාරනවා

ක්‍රි. අතිශයින් පැසවනවා.

කකියනවා

1. ක්‍රි. අතිශයින් තැම්බෙනවා; පැසෙනවා.
2. ක්‍රි. (හිත) උණුවෙනවා; රත් වෙනවා; කම්පා වෙනවා.
3. ක්‍රි. රිදෙනවා; වේදනා ගෙන දෙනවා.

කකුටපාද

වි. පරවියන්ගේ පාදවල පැහැ බඳු පැහැයෙන් යුත්.

කකුද

1. නා.ප්‍ර. ගොනුන් ගේ කර ළඟ පිහිටි උස් මස් පිඬ; මොල්ලිය.
2. නා.ප්‍ර. රාජත්වයේ සංකේතය වන පස් වැදෑරුම් භාණ්ඩ; කකුධ භාණ්ඩ.

කකුල

1. නා. මනුෂ්‍යයන් ඇතුළු ඇතැම් සත්ත්වයන් නැඟිට සිටීම, ගමන් කිරීම ආදි කාර්ය සඳහා භාවිත කරන ශරීරාවයවය; ශරීරයේ ඉකිළිය පටන් පතුල දක්වා වූ ආධාර වන කොටස; බර දැරීමට කොටස.
2. නා. ඇඳ, පුටු, මේස ආදියෙහි පාදය.

කකුල් ඇටය

(පාරිභා.) නා. කකුලේ දණ හිසෙන් පහළ තනි දඬු ඇටය; ජංඝාස්ථිය.

කකුල්දඩ

1. නා.ප්‍ර. පණිවිඩ පනත් සඳහා යෑම; පයින් යෑම.
2. (කථා.) නා.ප්‍ර. නිකරුණේ ඇවිදීම.

කකුස්සිය

නා. වැසිකිළිය.

කකුළු

වි. රළු; දැඩි; කර්කශ.

කකුළු රැස

නා. කටක රාශිය.

කකුළුවා

නා. ජලයෙහි හා වගුරුවල ජීවත් වන්නා වූ සත්ත්වයා; කර්කටකයා; කක්කුට්ටා.

කග

1. නා.ප්‍ර. කඩුව; අසිපත; කගපත.
2. නා.ප්‍ර. කඟවේණා.
3. නා.ප්‍ර. කුරුල්ලා; පක්ෂියා.

කග මුව

1. නා. කඩුවෙහි මුවහත ඇති පැත්ත.
2. නා. කඟවේණා.

කගවිසණු

නා. කඟවේණා.

කගවේණා

නා. නාසය මත පිහිටි තියුණු අඟකින් යුක්ත වේගයෙන් දිවිය හැකි ආසියාවේ හා අප්‍රිකාවේ වෙසෙන ශක්තිමත් සිව්පාවෙක්; රයිනෝසිරස්.

කග්ගින්න

1. (කථා.) නා.ප්‍ර. තද බඩගින්න; දැඩි සාගින්න.
2. මහත් කණගාටුව; බලවත් දුක් වේදනාව.

කඞ්කණ

නා.ප්‍ර. අතෙහි පලඳින ආභරණ විශේෂයක්; වළල්ල.

කඞ්කාලය

නා. ඇටසැකිල්ල; අස්ථි පංජරය.

කඞ්ඛා

නා.ප්‍ර. සැකය; කුකුස.

කඞ්ඛාවිතරණ

නා.ප්‍ර. (අභි.) අතීතාදි කාලත්‍රය විෂය කොට පවත්නා වූ බුද්ධාදි අටතැන්හි පවත්නා අෂ්ටවිධ වූ සැකය දුරු කිරීම.

කඞ්ඛාවිතරණ විසුද්ධිය

නා. (අභි.) නාමරූපයන්ගේ ඇතිවීමට හා පැවැත්මට හේතු වන කරුණු දැනගැනීමෙන් විචිකිච්ඡාව දුරු කොට පවත්නා විදසුන් නුවණ.

කඞ්ගු

නා.ප්‍ර. තණහාල්.