සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 398

කඩවාන

(කථා.) නා.ප්‍ර. වතුර බැස යෑමට නියරේ තනා ඇති කපොල්ල; වක්කඩ.

කඩවැසි

(පාරිභා.) නා.ප්‍ර. කඩින්කඩ ඇතිවන වර්ෂාව.

කඩවැසුම

1. නා. වාෂ්පයෙන් යමක් තැම්බීමේදී යොදා ගන්නා බඳුනේ කට වසා බඳින රෙදි කැබැල්ල.
2. නා. මනා දේහ විලාසය.

කඩවියන

නා.ප්‍ර. (වස්ත්‍රයෙන් කළ) වියන.

කඩසකුරු

නා.ප්‍ර. සූකිරි; ගල්කණ්ඩු.

කඩසරක්කු

1. නා.ප්‍ර. ව්‍යංජනවලට යොදන (පස් වැදෑරුම්) කුළුබඩු.
2. නා.ප්‍ර. බෙහෙත් බඩු; ඖෂධ වර්ග.

කඩසහල්

නා.ප්‍ර. කැබලිවලට කැඩුණු සාල් ඇට; සුනු සහල්.

කඩා පනිනවා

1. ක්‍රි. කෝපයෙන් බැණ වදිනවා; සැර වෙනවා.
2. ක්‍රි. දූෂණ හොර මැර ආදිය ඇල්ලීම සඳහා යම් පිරිසක් හදිසියේ ගොඩ වදිනවා.
3. ක්‍රි. හිටි හැටියේ පහර දෙනවා.
4. ක්‍රි. අනවසරයෙන් පිවිසෙනවා.
5. ක්‍රි. (බන්ධන වැනි යමක්) බිඳගෙන ඉවතට දුවනවා.

කඩා බාල්දුව

නා. බාධාවීම; කඩාකප්පල් වීම; බිඳවැටීම.

කඩාකප්පල් කරනවා

ක්‍රි. කඩා බිඳ දමනවා; විනාශ කරනවා; බාධා පමුණුවනවා.

කඩාමල්කඩ

නා. හිසෙහි පලඳින මල් පලඳනාව; මුදුන් මල්කඩ.

කඩාවඩා ගන්නවා

ක්‍රි. උපායෙන් හෝ බලහත්කාරකමින් අයිති කරගන්නවා; අයුතු ලෙස ලබා ගන්නවා; කොල්ලකා ගන්නවා.

කඩි කුලප්පුව

(කථා.) නා. පමණට වැඩිය කලබලකාරී බව; අනවශ්‍ය ඉක්මන.

කඩිත්ත

1. (කථා.) නා.ප්‍ර. කුඩා දියවළ.
2. නා.ප්‍ර. කුඩා දියපාර.

කඩිනම

නා.ප්‍ර. ඉක්මන; යුහුසුලු බව; ශීඝ්‍රබව.

කඩින්කඩ

1. ක්‍රි.වි. තැනින් තැන; පළින් පළ.
2. ක්‍රි.වි. විටින් විට; වරින් වර.
3. ක්‍රි.වි. වෙන් වෙන් ව.

කඩිප්පුව

1. නා. බෙර දවුල් ආදිය ගසන ලී කෝටුව.
2. (කථා.) නා. හරකුන් හංවඩු ගැසීම සඳහා ගනු ලබන සලකුණක්.

කඩිමුඩිය

නා. ඉක්මන; හදිසිය; කලබලය.

කඩිය

1. නා. හිණකඩ; අමුඩය.
2. නා. පොල්ල; මුගුර.

කඩියාලම

නා. අශ්වයන් මෙහෙයවීමට ඔවුන්ගේ මුඛයට දමන උපකරණය; කටකලියාව.

කඩිස

(කථා.) නා.ප්‍ර. ඔරුවක වියලේ කොල්ලෑව මත සවිකර තිබෙන හරස් ලී කැබැල්ල.

කඩිසර

වි. ඉක්මනින් වැඩ කරන; ඉක්මන්; අනලස්; ක්‍රියාශීලි; යුහුසුලු.

කඩු පත

නා. කඩුව; අසිපත.

කඩු මුණය

නා. කඩුවේ උල් කෙළවර; කඩුතුඩ.

කඩු සරම

නා. කඩුවෙන් යුද කිරීම; කඩුවෙන් සටන් කරන ආකාරය දැක්වීම; කඩු ශිල්පය දැක්වීම.