සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 399

කඩු සිළ

නා. කඩුවෙහි තුඩ.

කඩුක

(කථා.) නා. අත්තෙල් සිඳීමේ දී භාජනය පතුලේ ඉතිරි වන මණ්ඩි; තෙල්කා; තෙල්මණ්ඩි.

කඩුකස්තාන

නා.ප්‍ර. මුදලි මුහන්දිරම් ආදින්ගේ නිල ඇඳුමට අයත් කඩු ආදි නිල ලාඤ්ඡන.

කඩුක්කන්

නා.ප්‍ර. කනේ පලඳින ආභරණ විශේෂයක්.

කඩුත්තුව

1. නා. වේදනාව; රුජාව; කැක්කුම.
2. නා. පාචනය; අතීසාරය; අජීර්ණය.
3. නා. අශුචි; මල.
4. නා. මල පහ කිරීම.
5. නා. කරදරය; හිරිහැරය.

කඩුපුල්

1. නා.ප්‍ර. නාලොව ඇතැයි සැලකෙන මල් වර්ගයක්.
2. නා.ප්‍ර. රෑ මැදියම්ව පිපී වහා පරවන මල් හට ගැනෙන ඕකිඩ් වර්ගය.

කඩුල්ල

1. නා. වැටකින් වට වූ භූමියකට ඇතුළු වීම හා පිට වීම සඳහා පොලු හරහට තබා ඉදි කරන ලද දොරටුව; කපොල්ල; විවරය.
2. නා. ක්‍රිකට් ක්‍රීඩාවේ උපයෝගී කර ගන්නා විකට්ටුව.

කඩුව

1. නා. මුවාතක් සහිත සිහින් දිග තලයක් ද, කෙටි ආරක්ෂිත මිටක් ද ඇති ආයුධය; අසිපත; බඞ්ගය.
2. නා. කැලෑව; වනය.

කඩුවේගන්

නා.ප්‍ර. ශරීරයේ සෑදෙන කැසීම ලක්ෂණ කොට ඇති චර්ම රෝගයක්.

කඩොලාන

නා. ගංගා මෝයවල හෝ මුහුදුබඩ කලපු අද්දර කඩොල් ගස් බහුලව වැවී පවතින ජලාශ්‍රිත ප්‍රදේශය.

කණ

1. වි. එක් ඇසක් නොපෙනෙන; දෑසම නොපෙනෙන; අන්ධ.
2. වි. කළු; කළුපාට වූ.
1. නා.ප්‍ර. ඉතා ම කුඩා අංශුව; අණුව.
2. නා.ප්‍ර. තනි ධාන්‍ය ඇටය.
3. නා.ප්‍ර. දිය බින්දුව; වැසිපොද.
4. නා.ප්‍ර. ගිනි පුපුර.
5. නා.ප්‍ර. දහයියා පොත්ත හා හාල් ඇටය අතර ඇති රතුපාට කුඩ; වී කුඩු; නිවුඩු.
6. නා.ප්‍ර. ඇස; නෙත.
7. නා.ප්‍ර. කොන; කෙළවර.
8. නා.ප්‍ර. ඇසිල්ල; මොහොත; නිමේෂය; ක්ෂණය.

කණ අත්සන

නා. අකුරු නොදන්නා පුද්ගලයකු තමාගේ අත්සන හැටියට යොදන සලකුණ; ඇඟිලි සලකුණ.

කණ කැස්බෑවා

නා. එක් ඇසක් අන්ධ කැස්බෑවා.

කණ දණ්ඩ

නා. අන්ධයකුට ඇවිදීමේ දී පිහිට වන සැරයටිය; අන්ධ යෂ්ටිය.

කණ පිට

නා. නොපිට; වැරදි පැත්ත.

කණ මැස්සා

නා. විශේෂයෙන් ගවයන්ගේ සිරුර විද ලේ උරා බොන පිඟුවන් මැසි විශේෂයක්.

කණ මීමැස්සා

නා. ඉතා කුඩා මී මැසි වර්ගයක්.

කණ වැල

නා. අන්ධයකුට මඟ පෙන්වීම සඳහා යොදාගනු ලබන කෝටුව; අන්ධ යෂ්ටිය.

කණක්කුව

(කථා.) නා. ගණන; මිල.

කණඞ්කය

(පාරිභා.) නා. දශමස්ථානය වෙන් කර දැක්වීමට තබන ලකුණ; දශම තිත.

කණමත

නා. නිදිමත.

කණමදයා

1. (කථා.) නා. මද කිපීම නිසා ඇස නොපෙනෙන ඇතා.
2. නා. අන්ධ වූ වල් හරකා.
3. නා. අතිශයින් බීමත් තැනැත්තා.

කණය

නා.ප්‍ර. උල් වූ අනින අවියක්; තෙබ.