සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 504

කෘතලක්ෂණ

වි. උතුම්; ප්‍රශස්ත.

කෘතවෘද්ධ

වි. ක්‍රියාවෙන් වැඩිහිටි බවට පත්.

කෘතශ්‍රම

වි. දුෂ්කර; අමාරු.

කෘතසංසර්ග සමාජය

නා. පොදු වගකීමකින් යුක්ත ව ආයතනයක් හෝ සමාගමක් හෝ වශයෙන් නීත්‍යනුකූල ව ලියාපදිංචි වූ ඒකාබද්ධ පුද්ගල සමුදාය; සංස්ථාව.

කෘතහස්ත

වි. කරන ලද අභ්‍යාස ඇති; පළපුරුදු; අතිශයින් දක්ෂ.

කෘත්‍ය

වි. කළ යුතු; සිදු කළ යුතු.

කෘත්‍යකාරී

වි. කටයුතු කරන සුලු; ක්‍රියාකාරී.
නා. කටයුතු කරන්නා; ක්‍රියාකාරකයා.

කෘත්‍යය

1. නා. කළ යුත්ත; වැඩය.
2. නා. ආගමික චාරිත්‍ර; වතාවත්; වත්පිළිවෙත්.
3. නා. ක්‍රියාව; ඉන්ද්‍රියවලින් හෝ චිත්ත චෛතසික ධර්මවලින් සිදුවන ක්‍රියාව.
4. (පාරිභා.) නා. සෛලයක හෝ පටකයක හෝ අවයවයක හෝ සාමාන්‍ය ජීව ක්‍රියාව (=function).
5. නා. සැලසුම් කරන වැඩපිලිවෙළ; යෝජනා ක්‍රමය.
6. නා. හැසිරීම් විලාසය; පැවැත්ම.

කෘත්‍යාධිකාරි

වි. කටයුත්තෙහි ප්‍රධානත්වය ඇති; කාර්ය සම්පාදක.
නා.ප්‍ර. කාර්ය භාර ප්‍රධානයා.

කෘත්‍යාධිකාරි මණ්ඩලය

1. නා. කටයුතු ඉටු කරන සාමූහික පිරිස; කාර්ය සාධනය ඉටු කරන සාමාජිකයන්ගෙන් තෝරා පත්කර ගත් සභාව.
2. නා. කැබිනට් මණ්ඩලය; ඇමති මණ්ඩලය.

කෘත්‍රිම

1. වි. ස්වාභාවික නොවන; ස්වභාවයට එකඟ නොවූ.
2. වි. යාන්ත්‍රික ව හෝ අතින් කරන ලද.
3. වි. කල්පිත; සිතින් මවා ගත්.

කෘත්‍රිම උල්ලේඛය

(පාරිභා.) නා. ලෝහ වැඩවල දී සූරා දමා ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස යොදා ගන්නා සිලිකන් ආදි ද්‍රව්‍යයන්ට ව්‍යවහාර කරන නාමය (=artificial abrasive).

කෘත්‍රිම ක්ෂිතිජය

(පාරිභා.) නා. ආකාශ වස්තුවල උන්නතාංශය මැන ගැනීම සඳහා භාවිත කෙරෙන උපකරණය (=artificial horizon).

කෘත්‍රිම කාන්දම

(පාරිභා.) නා. කාන්දම් ශක්තිය පොවා තනාගත් කාන්දම; නිර්මිත චුම්බකය.

කෘත්‍රිම චන්ද්‍රිකාව

(පාරිභා.) නා. මිනිසා විසින් තනනු ලැබ අජටාකාශ ගවේෂණ කටයුතු සඳහා ගුවන්ගත කළ විමාන විශේෂයක්.

කෘතාඤ්ජලී

වි. දෑත් එක් කොට නළල වෙත නැවුණු; ඇඳිලි බැඳි.

කෘතාධිකාර

[කෘත + අධිකාර]
වි. කරන ලද ප්‍රාර්ථනා; අධික ව කරන ලද පින් ඇති.

කෘතාන්තය

නා. ක්‍රියා ඵලය; මරණය.

කෘතාන්තයා

නා. මාරයා; යමයා.

කෘතානුකුල්‍යතාව

නා. ප්‍රසන්න ගතිය; ප්‍රියවාදි බව.

කෘතාර්ථ

වි. ඉටු වූ බලාපොරොත්තු ඇති; අදහස් සමෘද්ධ වූ.

කෘතාවතාර

[කෘත + අවතාර]
නා.ප්‍ර. පහළවීම; උපත.

කෘතිය

නා. කරන ලද දෙය; නිර්මාණ කරන ලද්ද; රචනාව; ග්‍රන්ථය.

කෘතිවරයා

නා. කාර්ය කුශල වූ තැනැත්තා; පඬිවරයා.