සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 510

කෙළතොලු

1. වි. කට දෙකොනින් කෙළ වැගිරෙන.
2. වි. මෝඩ; අඥාන; ජඩ.
3. වි. ඕපාදූප කියන; අනුන්ගේ අගුණ කථා කරන.

කෙළනවා

1. ක්‍රි. විනෝදය හා ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාවක යෙදෙනවා; ක්‍රීඩා කරනවා.
2. ක්‍රි. යමක් නිදහසේ එහාට මෙහාට පැද්දෙනවා.
3. ක්‍රි. නටනවා; රැඟුම් පානවා.
4. ක්‍රි. කා දමනවා; ගිල දමනවා.
5. ක්‍රි. උපායෙන් හෝ හොර රහසේ පැහැර ගන්නවා; රවටා ගන්නවා.
6. ක්‍රි. පහර දෙනවා.

කෙළමලාව

නා. කෙළ ගැසීමට භාවිත කරන භාජනය; පඩික්කම.

කෙළමෝල

1. නා. විල්ල සහිත මෝල්ගහ.
2. නා. කෙළවර ගෙවී ගිය/ පිල්ල/ විල්ල රහිත මෝල්ගහ.

කෙළඹ

1. නා.ප්‍ර. ධනය; සම්පත්තිය.
2. නා.ප්‍ර. පවුල.

කෙළඹියා

1. නා. ගෙහිමියා.
2. නා. ධන සම්පත් ඇති තැනැත්නා.
3. නා. රජුගේ තක්සේරුකාරයා.

කෙළලක්ෂය

නා. ලක්ෂ කෝටිය.

කෙළවර

1. නා. අන්තය; අවසානය; කෝටිය.
2. නා. කොන; තුඩ; අග.

කෙළි

නා.ප්‍ර. කූටය; මුදුන; කුළු ගෙයක කැණිමඬල.

කෙළි මඩුව

නා. ක්‍රීඩා කරන ශාලාව ක්‍රීඩා මණ්ඩපය.

කෙළිකවට

නා.ප්‍ර. සිනහ උපදවනාසුලු; විහිලු තහලු.

කෙළිකොටුව

නා. ක්‍රීඩාවෙහි යෙදෙන ළදරුවන් වෙත ආරක්ෂාව සැලසෙන සේ වට කර සදනු ලබන කොටුව (=play pen).

කෙළිදෙළ

නා. සෙල්ලමට ඇති කැමැත්ත.

කෙළිනළු

නා.ප්‍ර. ක්‍රීඩා හා නාට්‍ය; සෙල්ලම් හා නැටුම්.

කෙළින්

1. වි. කඨින; තද; රළු; දළ.
2. වි. ඇද නැති; සෘජු.
3. වි. අවංක; සෘජු ගති ඇති.
ක්‍රි.වි. සෘජු ව; අවංක ලෙස.
නා.ප්‍ර. කඨිනය; කඨින සිවුර.

කෙළින් සිටිනවා

1. ක්‍රි. සිරස් ව සිටිනවා; සෘජු ලෙස සිටිනවා.
2. ක්‍රි. (අයුක්තිය හමුවේ) විරෝධය දක්වනවා; අවංකව හා එඩිතරව කටයුතු කරනවා.

කෙළින් සිවුර

නා. කඨින චීවරය.

කෙළිපරක්කුව

1. නා. ක්‍රීඩාවෙන් ලබන විනෝදය; ක්‍රීඩා විනෝදය.
2. නා. කවටකම් කිරීම.

කෙළිපුද

නා. නැටීම සමග කරන පූජාව; දේව යක්ෂාදින්ට කරන පිදවිලි.

කෙළිබඩුව

1. නා.ප්‍ර. සෙල්ලම් පිණිස ගන්නා උපකරණය; ක්‍රීඩා භාණ්ඩ.
2. නා.ප්‍ර. සම්භෝගයට හෝ හෝ විනෝදයට ලක් කරගන්නා තැනැත්තිය.

කෙළිමඬල

නා. ක්‍රීඩා මණ්ඩලය; ක්‍රීඩා භූමිය; ක්‍රීඩා පිටිය.

කෙළිය

1. නා. විනෝදය හා ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාව.
2. නා. ක්‍රීඩා භාණ්ඩ වලින් කරනසෙල්ලම; ක්‍රීඩාව.
3. නා. නැටුම; රැඟුම.
4. නා. කුටිය.

කෙළිල්ල

නා. ඇන තියාගෙන හිඳීම; උක්කුටුකය.

කෙළිලොල්

වි. ක්‍රීඩාවට කැමති; සෙල්ලක්කාර.