සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 549

ගණවැසි කුලය

නා. ලංකාවේ පැරණි රජ පෙළපතක නාමය; ලමැණි පෙළපත; ලම්බකණ වංශය.

ගණවැසි රැකවල

නා. රජ මාලිගයේ අභ්‍යන්තර ආරක්ෂක සේවය.

ගණශාස්තෘ

නා.ප්‍ර. භික්ෂු තාපස ආදින්ගේ ගණයකට අනුශාසනා කරන ප්‍රධානයා.

ගණසජ්ඣායනාව

නා. සමූහයක් එක් ව (පිරිත් වැනි දෑ) හඬනගා කීම.

ගණසතු

වි. සමූහයකට අයිති; පිරිසකට පොදු අයිතියක් ඇති.

ගණ්ඨික

1. වි. තේරුම් ගැනීමට අපහසු; ගැටලු සහිත; ගැටමුසු; විසඳීමට අමාරු; සැඟවුණු අර්ථ සහිත.
2. වි. ගැට ගසන ලද; ගැට සහිත.

ගණ්ඨිකයා

නා. අනුන් රැවටීම පිණිස උපාය යොදන්නා; කපටියා.

ගණ්ඨිදාහය

නා. සිරුරේ ග්‍රන්ථිවල ඇති වන දැවිල්ල; ග්‍රන්ථි ප්‍රදාහය.

ගණ්ඨිපද

1. නා.ප්‍ර. තේරුම් ගැනීමට අපහසු වචන; ගැටමුසු වචන; ගැටමුසු වචන; දුරවබෝධ පද.
2. නා.ප්‍ර. අමාරු වචනවල තේරුම් පැහැදිලි කරලන ග්‍රන්ථය; ගැටපදය.

ගණ්ඨිය

1. නා. නූල්, රැහැන් වැනි දෙයක් එකට පැටලීමෙන් වූ ගැටය.
2. නා. ගස්වැල් ආදියේ කොටස් පොදි ගැසුණු තැන; උණ පුරුක් දෙකක් අතර සන්ධිය.
3. නා. ශරීර ග්‍රන්ථිය.
4. නා. විසඳීමට අමාරු ප්‍රශ්නය; ගැටමුසු තැන; දුරවබෝධ ස්ථානය.

ගණ්ඩ අස්ථිය

නා. කම්මුල් ඇටය; කපෝලාස්ථිය.

ගණ්ඩකය

1. නා. බාධාව; වෙන්වීම.
2. නා. නැකැත් ශාස්ත්‍රය.
3. නා. සතරින් සතර ගණන් කිරීමේ ක්‍රමය.

ගණ්ඩකයා

නා. කඟවේණා.

ගණ්ඩමාලය

නා. ශරීරයෙහි (ගෙළවට) වසාග්‍රන්ථි මහත් වීම ලක්ෂණ කොට ඇති රෝගයක්; ගෙළ වටා මාලයක් මෙන් ගෙඩි නැගෙන රෝගය.

ගණ්ඩය

1. නා. මුහුණේ පැත්ත; කම්මුල; කපෝලය.
2. නා. ශරීරයේ සෑදෙන ගඩුව; බිබිලි ගැටය.
3. නා. ලපය; ලකුණ; කැලල.

ගණ්ඩස්ථලය

නා. කම්මුල; කොපුල් තලය; කපෝලස්ථය.

ගණ්ඩී

නා.ප්‍ර. ආරාමයන්හි සංඝයා රැස් කිරීම සඳහා හඬවන ගෙඩිය; කුඩා ඝණ්ටාරය.

ගණ්ඩුකය

(පාරිභා.) නා. ප්‍රධාන ස්නායු පද්ධතියේ ස්නායු රාශිභූත ව සෑදුණු ගැටය; ගැංග්ලියම.

ගණ්ඩුප්පාද

1. නා.ප්‍ර. මිනිස් සිරුර තුළ ජීවත්වන පණු වර්ගයක්; බඩ පණුවා.
2. නා.ප්‍ර. පසෙහි ජීවත්වන පණු විශේෂයක්; ගැඩවිලා; ගැඩවිල් පණුවා.

ගණ්ඩූෂය

1. නා. කට පුරා ගත් ජලය හෙවත් දියර ප්‍රමාණය; වරකට කටට ගත හැකි බොන දෑ ප්‍රමාණය.
2. නා. ඖෂධ ද්‍රවයෙන් කට පුරා ගැනීමෙන් කරන ප්‍රතිකර්ම විධිය.

ගණ්‍ය

1. වි. ගණන් කළ හැකි; ගණනින් ප්‍රමාණ කළ හැකි.
2. වි. ගිණිය යුතු; ගණන් ගැනීමට සුදුසු.

ගණාධිපති

නා.ප්‍ර. ගණයකට හෙවත් සමූහයකට අධිපති; ගම් කීපයකට අධිපති භාවය උසුලන්නා.

ගණාවාසය

නා. එක් ව විසීම; සමූහයක් සමග වාසය කිරීම.

ගණි

1. නා.ප්‍ර. ගණිකාව; වේශ්‍යාව; වෙසඟන.
2. නා.ප්‍ර. ගණින්නාන්සේ.