සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 61

අතුපත්

නා.බහු. අතු හා කොළ; ශාඛා හා පත්‍ර.

අතුබළය

නා. ගසක කඳකින් අත්තක් බෙදී යන තැන; කරුව; දෙබල; වෙළය.

අතුර

1. නා.ප්‍ර. මැද්ද; මධ්‍යය; අභ්‍යන්තරය.
2. නා.ප්‍ර. අතරතුර කාලය.
3. නා.ප්‍ර. ඉඩ; අවකාශය.
4. නා.ප්‍ර. ‍තොරතුර; පුවත.
5. නා.ප්‍ර. ගසින් ගසට මාරු වී යෑම පිණිස ඒවා ඉහළින් ඈඳා සෑදූ රැහැන් මග.
6. නා.ප්‍ර. කුඹුරක එක් වරකට හෑ යුතු කොටස වෙන් කර ගැනීම පිණිස පළමුවෙන් ගසන හීවිට; සී සෑම පිණිස හී විටක් ගසා කුඹුරක වෙන් කර ගන්නා තීරුව.
7. නා.ප්‍ර. අනතුර; අන්තරාය; උපද්‍රවය; ආපදාව
8. නා.ප්‍ර. ඇතිරිල්ල; ආස්තරණය; ඇතිරිය.

අතුරතුර

නා.ප්‍ර. අතර වූ අවකාශය.

අතුරනවා

1. ක්‍රි. එළවනවා; දිග අරිනවා; විසුරුවනවා.
2. ක්‍රි. ඉසිනවා.
3. ක්‍රි. ඇතිරිලි එළා පිළියෙල කරනවා; පනවනවා.

අතුරන්නාව

නා. (කමත්.) ලොකු පැදුර; මාගල.

අතුරැල්ල

(කථා.) නා. පොල් අතු සෙවිලි කළ වහල කෙළවරින් පාතට එල්ලා වැටෙන කොළ පෙළ.

අතුරිත

වි. ඉක්මන් නොවූ; කඩිනම් නොවූ; අලස.

අතුරිත චාරිකාව

නා. බුදුන් වහන්සේ පිඬු සිඟා වැඩීම, දහම් දෙසීම ආදිය සඳහා ගම්නියම්ගම්වල පිළිවෙළින් සැරිසැරීම.

අතුරු

1. වි. මැදි; මැද පිහිටි; මධ්‍යගත.
2. වි. අමතර.
1. නා.ප්‍ර. ඉඩ; අවකාශය.
2. නා.ප්‍ර. වෙනස; අමුත්ත; විශේෂය.

අතුරු අන්තරාව

(කථා.) නා. උපද්‍රව; ආපදාව; අනතුර.

අතුරු අවුණ

නා. කඩ වීදිය; අංගාණිය.

අතුරු ආබාධය

1. නා. ආබාධයක් පවතින අතර හට ගැනෙන අන් ආබාධය.
2. නා. එක් ආබාධයකට ප්‍රතිකාර පිණිස ගන්නා ඖෂධ නිසා ඇති වන වෙනත් සංකූලතා.

අතුරු කඩ

(පාරිභා.) නා. දත් අතර පවතින හිදෑස (=diastema).

අතුරු කතාව

නා. කථාවක් මැද එයට ඇතුළත් යම් කරුණක් පැහැදිලි කරනු ලබන විස්තරය.

අතුරු කද

නා. මැදින් බර එල්වා දෙදෙනෙකු විසින් දෙකෙළවරින් උසුලාගෙන යන කද.

අතුරු ගිවිසුම

(පාරිභා.) නා. ප්‍රධාන පොරොන්දු පත්‍රයට අදාළ කාරණය පිළිබඳ ව ඇති කර ගන්නා අනෙක් පොරොන්දුව (=sub contract).

අතුරු දශාව

නා. (ජ්‍යෝති) කේන්දරයක මහ දසා අතරට වැටෙන අනු දසාව; අන්තර් දශාව.

අතුරු නියෝගය

(පාරිභා.) නා. අවසාන තීන්දුවට කලින් දෙන අතර මැදි නියෝගය (=interlocutory order).

අතුරු පලය

(පාරිභා.) නා. යමක් නිෂ්පාදනය කිරීමේ දී සෑදෙන වෙනත් ඵලයක් (= by product).

අතුරු බත

නා. උදය, දවල් අතරතුර කාලය; ආහාර වේල් දෙකක් අතරතුර කාලය; පෙරවරුව; අන්තරාභක්තය.

අතුරු මැතිවරණය

නා. මහ මැතිවරණයකින් පසු ඇති වූ මන්ත්‍රී පුරප්පාඩුවක් පිරවීම සඳහා පවත්වන මැතිවරණය.

අතුරු මෝසම්

(කථා.) නා. නඩුවක් විභාග වන අතරතුර දී අමුතුවෙන් කාරණයක් ඇතුළත් කිරීම සඳහා උසාවියේ අවසර ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරන ඉල්ලීම.

අතුරු වගාව

(පාරිභා.) නා. ප්‍රධාන භෝග වගාව ඇති බිමෙහි ම කරන සුළු අතිරේක භෝග වගාව (=inter cultivation).