සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 681

ජෛව භූ රසායන විද්‍යාව

(පාරිභා.) නා. ජීව හා භූ ද්‍රව්‍යවල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය හා රසායනික ක්‍රියාවලි හැදෑරීමේ විද්‍යාව (=biogeochemistry).

ජෛව භෞතික විද්‍යාව

(පාරිභා.) නා. ජීව විද්‍යාත්මක ගැටලුවල දී භෞතික මූලධර්ම පදනම් කර ගැනීම හා සම්බන්ධ විද්‍යාව.

ජෛව රසායනය

(පාරිභා.) නා. ජීව ද්‍රව්‍යවල අන්තර්ගත රසායනික සංයෝග හා ඒවායේ ක්‍රියාවලි පිළිබඳ රසායන විද්‍යාව.

ජෛව සන්දීප්තිය

(පාරිභා.) නා. ආභ්‍යන්තරික ඔක්සිකාරක විපර්යාස නිසා ඇතැම් ජීවීන්ගෙන් හා දිලීර වර්ගවලින් නිකුත්වන කාන්තිය.

ජෛවාර්ථික විද්‍යාව

(පාරිභා.) නා. ජීවියාත්, ජීවියාගේ පරිසරයත් අතර සම්බන්ධකම් හැදෑරීම.

ජොකියා

නා. ධාවන තරගවලට සහභාගි වන අශ්වයකු පදින්නා; රේස් අසුන් මෙහෙයවන්නා.

ජොල් වෙනවා

(කථා.) ක්‍රි. (පලතුරු හෝ බත් ආදිය) ඉදී වැඩි වීම නිසා මොලොක් දියාරු ගතියට පත් වෙනවා; බෙරි වෙනවා.

ජොහොරය

(කථා.) නා. මඩ ගොහොරුව.

ජෝගි

(කථා.) වි. විකට; විහිළු; කෝලම්කාර.

ජෝජට්

නා.ප්‍ර. සිනිඳු දුහුල් සේද රෙදි විශේෂයක්.

ජෝඩුකාරයා

1. (කථා.) නා. (කිසිවක්) සංවිධානය කරන තැනැත්තා; පිළියෙල කරන්නා.
2. නා. මඟුල් යෝජකයා; මඟුල් කපුවා.

ජෝඩුව

1. නා. දෙක; දෙදෙනා; යුවල; යුගලය.
2. නා. අඹු සැමි දෙදෙනා.

ජෝති

1. නා.ප්‍ර. කණමැදිරියා; කදෝපැණියා.
2. නා.ප්‍ර. පාට; පැහැය; වර්ණය.
3. නා.ප්‍ර. දිලිසීම; පැහැපත් බව; කාන්තිය.
4. නා.ප්‍ර. ගින්න; අග්නිය.
5. නා.ප්‍ර. තරුව; තාරකාව.

ජෝති පාෂාණය

නා. ඉර අවුවේ උපකාරයෙන් ගින්න උපදවන පළිඟු ගල් වෙසෙසක්.

ජෝති සිඛාව

නා. ගිනි සිළුව; ගිනි දළුව.

ජෞලිය

නා. (වෛද්‍ය) පයේ මාපට ඇඟිල්ලේ පාද පාලි; භස්ත්‍රාවේ සන්ධි මතුයෙහි දැවිල්ල සහිත ව ඉදිමීමේ රෝගය.

ජ’මේනියම්

(පාරිභා.) නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක් (=germanium).

ජ’මේරියම

(පාරිභා.) නා. ඇතැම් අපෘෂ්ඨවංශීන්ගේ ඩිම්බ කෝෂයෙහි නිපදවන කොටස (=germarium).

ඣ

මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස් වැනි අකුර; දස වැනි ව්‍යඤ්ජනාක්ෂරය; තාලුජ ඝෝෂ මහාප්‍රාණ ස්පර්ශ ශබ්දය.

ඣංකාරය

නා. ‘ඣ’ යන අනුකරණ ඇති බිඟු, නුරුවලා, කිංකිණි, භූ කම්පන ආදිය හා ඇසුරු නද.

ඣම්පට්ටශාලාව

නා. දියට පැනීම සඳහා සාදන ලද අට්ටාලය; දොඹටහල්ල.

ඣම්පනය

නා. පැනීම.

ඣම්පා

1. නා.ප්‍ර. පැනීම.
2. නා.ප්‍ර. පද්‍ය වෘත්තයක්; දොඹ විරිත.