සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 682

ඣර්ඣරය

නා. බෙර විශේෂයක්; ඩැක්කි.

ඣල්ලකය

නා. අත්තාළම; කයිතාළම.

ඣල්ලරී

නා.ප්‍ර. අවනද්ධ වර්ගයේ වාද්‍ය භාණ්ඩයක්.

ඣල්ලිකා

නා.ප්‍ර. (ශරීරයෙහි ගෑවී පවතින) කුණු.

ඣිරිකා

නා.ප්‍ර. රැහැයියා.

ඤ

මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස් එක් වැනි අකුර; එකොළොස් වැනි ව්‍යඤ්ජනාක්ෂරය; චවර්ගාන්ත අනුනාසිකයා, තාලුජ ඝෝෂ අනුනාසික ශබ්දය.

ඤරු ඤුරු ගානවා

(කථා.) ක්‍රි. යමක් ලබා ගැනීමට ඇවිටිලි කරමින් කොඳුරනවා; කන් කෙඳිරි ගානවා.

ඤාණකතා

(කථා.) නා.ප්‍ර. මතුපිටින් සීනි තැවරූ වටකුරු හෝ දිගු හැඩයට තැනූ රසකැවිලි විශේෂයක්.

ඥ

නා.ප්‍ර. තාලුජ ඝෝෂ අල්ප ප්‍රාණ ‛ජ්' කාරය ද තාලුජ ඤ කාරය ද එකතුවෙන් සෑදුණු සංයුක්ත ව්‍යඤ්ජන අක්ෂරය.
වි. දන්නා වූ දැනගත්; ජානනය කළ.

ඥාත

1. වි. දැනගත්; තේරුම් ගත්; අවබෝධ කළ; හැඳිනගත්.
2. වි. ප්‍රසිද්ධ; ප්‍රකට.

ඥාතය

නා. දෙන ලද හෝ අනු දක්නා ලද හෝ දෙය; දත් දෙය; දත්තය.

ඥාතව්‍ය

වි. දැනගත යුතු; වටහා ගත යුතු; අවබෝධ කළ යුතු.

ඥාත්‍යර්ථචර්යාව

[ඥාති + අර්ථ + චර්යා]
නා. නෑයන්ට හිත වැඩ පිණිස හැසිරීම.

ඥාති

වි. නෑ සබඳකමින් යුත්.

ඥාති උපදේශකයා

නා. (ක්‍රිස්ති.) ප්‍රශ්නෝත්තර මගින් ක්‍රිස්තු ධර්මය උගන්වන තැනැත්තා; කතිසාරු තැන.

ඥාති කුලය

1. නා. නෑයන් වාසය කරන තැන; නෑ ගෙය; ඥාති ගෘහය.
2. නා. නෑකම් ඇති පිරිස; නෑයෝ.

ඥාතියා

නා. නෑ සබඳකම් ඇත්තා; ඥාතියා.

ඥාන කාය

නා. (බුදුන් වහන්සේගේ) ඥාන සම්භාරය නමැති ශරීරය.

ඥාන ගතිය

නා. නුවණෙහි ගමන; දැනුම මෙහෙයවාලීම.

ඥාන ගෝපාලයා

නා. (ක්‍රිස්ති.) ආත්මික නියාමකයා ; මීසම භාර දේවගැතිවරයා; පාදිලිතුමා.

ඥාන චක්ෂුස

නා. නුවණ නමැති ඇස.

ඥාන ජාලය

නා. නුවණ නමැති දැල.

ඥාන දර්ශන විශුද්ධිය

නා. කෙලෙස් මලයෙන් පිරිසිදු වූ ඥාන දර්ශනය; චතුරාර්ය සත්‍යයෙන් අවබෝධ කරගන්නා ඥානය.

ඥාන දර්ශනය

නා. ප්‍රඥාවෙන් විනිවිද දැකීම; නුවණින් චතුස්සත්‍යාවබෝධය.