සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 717

තයියාරු වෙනවා

(කථා.) ක්‍රි. සූදානම් වෙනවා; ලැහැස්ති වෙනවා.

තයිරොක්සින්

(පාරිභා.) නා. තයිරොයිඩ් නම් ග්‍රන්ථියෙන් පිට වන අයඩින් අන්තර්ගත ඇමයිනෝ අම්ලය (=thyroxine).

තයිලම

1. නා.ප්‍ර. බෙහෙත් වර්ග කීපයක් මුසු කොට සකස් කරන ඖෂධීය ආලේප විශේෂයක්.
2. නා.ප්‍ර. අබිං වැනි මත් ද්‍රව්‍යයක්.

තයිලය

නා. මීකිරි ආදියෙන් හිඳගන්නා තෙල්; ශාක තෙල්.

තයිලා පෙට්ටිය

නා. යම් යම් බඩු දැමීම සඳහා ලීයෙන් සාදාගනු ලබන පෙට්ටියක්.

තර

1. නා.ප්‍ර. වේගය; ඉක්මන; විගස.
2. නා.ප්‍ර. ශක්තිය; බල මහිමය; පරාක්‍රමය.
3. නා.ප්‍ර. රශ්මිය; කාන්තිය; පැහැය; ශෝභාව; ප්‍රභාව.
4. නා.ප්‍ර. ගංගා ආදියේ ඉවුර; තෙර; තොටුපළ; තීර්ථය.
5. නා.ප්‍ර. ගංගා ආදියෙන් එගොඩ මෙගොඩවීම; එතෙරවීම; පරතෙරට යෑම; එගොඩ මෙගොඩ වීමට උපකාරී වන ඔරුව පහුර හෝ අත් යාත්‍රාව.
6. නා.ප්‍ර. පාර; මාර්ගය.
7. නා.ප්‍ර. ඇස්ගුළිය; ඇසිකිණිය; තාරාමණ්ඩලය.
8. නා.ප්‍ර. තාරකාව.
1. වි. උච්චස්වරයෙන් යුක්ත වූ; උස්හඬින් යුත්.
2. වි. මහතින් යුක්ත; තරබාරු; ස්ථුල.
3. වි. පරිපූරණ වූ; පිරුණු; ශක්තිමත් වූ; සවි ඇති; තද; දැඩි.
4. වි. නොසැලී පවතින්නා වූ; ස්ථාවර; කල්පවත්නා වූ; නියත.
ප්‍රත්‍ය. (ව්‍යාක.) දෙකක් අතරින් එකක වැඩිබව හඟවන තද්ධිත ප්‍රත්‍යය.

තර ඇණය

1. (කථා.) නා. ඔරු ආදි කුඩා යාත්‍රාවල සිදුරු තැන් ලප්ප දමා වසා ගසන ඇබය.
2. නා. ඔළුව මහත්වන සේ මිටියම් කළ ඇණය; හෙප්පු වැනි ලෝහමය පෙට්ටිවල ඇතුළේ අගුල වැටීමට සවි කරන බුබුලක් වැනි ඇණය.

තර කරනවා

1. ක්‍රි. ශක්තිමත් කරනවා; බලසම්පන්න කරනවා.
2. ක්‍රි. නොසැලෙන තත්ත්වයට පත් කරනවා.
3. ක්‍රි. (පිළිසකර ආදියෙන්) තහවුරු කරනවා; ස්ථාවර කරනවා.
4. ක්‍රි. අදිටන් කරනවා; නිශ්චය කරනවා; ධාරණය කරනවා.
5. ක්‍රි. ශරීරය පෝෂ්‍ය කරනවා; පුෂ්ටිමත් කරනවා.
6. ක්‍රි. (මිටියම් ඇණ, පොට ඇණවල ඔළු ආදිය මෙන්) ලෝහයක දිග අඩුකර මහත වැඩි කරනවා.

තර පස

නා. ශක්තිමත් මලපුඩුව; සවි ඇති තොණ්ඩුව; දැඩි පාශය.

තර විය

නා. බොල් නොවූ වී; හොද වී.

තරං

නා.ප්‍ර. මල්වෙඩි සෑදීමේ වෙඩි බෙහෙත් සමඟ ප්‍රමාණයකට දී අනු ව මිශ්‍ර කරන යකඩ චීනච්චටිටි ආදි ලෝහ කුඩු.

තරංක හිරුව

නා. දොර ජනෙල් ආදියේ තරංකය නොහොත් අගුල වැටෙන සිදුර; අගුල් කට.

තරංකය

1. නා. දොරවල් හිරකර වැසීම සඳහා හරහට දමන පොල්ල; දොර පොල්ල; දොර අගුළ.
2. නා. දුම්රිය දුනු රෝද ආදිය එකට හිර කර තැබීම සඳහා හරහට දමට යකඩ පොල්ල.

තරංග ආයාමය

(පාරිභා.) නා. ප්‍රත්‍යාවර්තක තරංගයක සමරූපී හා අනුක්‍රම ලක්ෂ්‍ය දෙකක් අතර පවත්නා දුර ප්‍රමාණය (=wave length).

තරංග කලාපය

(පාරිභා.) නා. සමාන තරංග ආයාම ඇති තීරය (=wave band).

තරංග චලිතය

(පාරිභා.) නා. ශක්තිය ගෙන යන්නා වූ ආවර්තික කැලඹීමක ප්‍රචාරණය;
තරංග ගතිය; තරංග ගමන (=wave motion).

තරංග නිම්නය

(පාරිභා.) නා.ප්‍ර. තරංග ශීර්ෂ දෙකක් අතර ඇති පහත් පෙදෙස (=wave depression).

තරංග පරාවර්තනය

(පාරිභා.) නා. ජලයේ, ආලෝකයේ හෝ වායුවේ තරංග යමක වැදුණු විට ආපසු හැරි රැළී දීම; ප්‍රතිවිරුද්ධ තලයක හැපී තරංග පෙරළා රැළි දීම (=reflection of wave).

තරංග පීඩනය

(පාරිභා.) නා. තරංගවලින් ඇති වන තෙරපුම (=wave pressure).

තරංග පෙරහන

(පාරිභා.) නා. තරංග සංඛ්‍යානයට අනු ව වෙන් කරන උපකරණය (=wave filter).

තරංග භංගය

නා. තරංග මාලා නැඟී නැඟී පෙරළී යාම; රළ බිඳීම.

තරංග මාලාව

(පාරිභා.) නා. රළ පේළිය; තරග වැළ; තරංග පේළිය.

තරංග යාන්ත්‍රවිද්‍යාව

නා. පරමාණුව පිළිබඳ විග්‍රහයේ දී විස්තර විභාග කරන නව විද්‍යා ක්‍රමයක්; විකිරණවල තරංගීබව හදාරන 'ක්වොන්ටම්’ යාන්ත්‍ර විද්‍යාවේ කොටසක්.

තරංග ලේඛය

(පාරිභා.) නා. තරංග සටහන් වන යන්ත්‍රය (=wave recorder).