සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 721

තර්පණය

1. නා. තෘප්තියට පැමිණවීම; පිනවීම.
2. නා. අත්සුණු පසුම්බිය.

තර්මෝමීටරය

නා. උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරන උපකරණයක්; උෂ්ණත්වමානය (=thermometer).

තර්මෝස් ප්ලාස්කුව

නා. උණු ද්‍රවයක තාපය හෝ ශීත ද්‍රවයක ශීතල හෝ රැක ගැනීම සඳහා තනා ඇති බෝතලයක් (=thermos flask).

තරා

නා.ප්‍ර. ආලෝකය; රශ්මිය; කාන්තිය; දිලිසීම.

තරා රාජ

නා. සඳ; චන්ද්‍රයා.

තරාගල

නා. සඳු; චන්ද්‍රයා; නිසාකරයා.

තරාතිරම

නා. පුද්ගලයකු සමාජයේ දරන තැන; තත්ත්වය.

තරාදි තටුව

නා. තරාදියේ ද්‍රව්‍ය තබන තැටිය.

තරාදි දණ්ඩ

නා. තරාදි තැටි උසුලන හරස් දඬුව; තුලාධාරකය.

තරාදි පාලම

(පාරිභා.) නා. වාහනවල බර කිරීම සඳහා භාවිත කරන තුලා තට්ටුව (=weighbridge).

තරාදිය

නා. බර කිරීමට ගන්නා උපකරණය; තුලාව.

තරාල්දරු

නා.ප්‍ර. තරහල් තනතුරක් දරන්නා; රන්කරුවා.

තරාස

1. නා.ප්‍ර. කෝපය; තරහ.
2. නා.ප්‍ර. බිය; තැති ගැනීම; ත්‍රාසය.

තරාස කරනවා

ක්‍රි. කෝපයට පත් කරනවා; තරහ ගන්වනවා.

තරාස වෙනවා

1. ක්‍රි. බිය වෙනවා; තැති ගන්නවා; ත්‍රාසයට පත්වෙනවා.
2. ක්‍රි. කෝපයට පත් වෙනවා; තරහ වෙනවා.

තරින්දු

නා.ප්‍ර. හඳ; චන්ද්‍රයා.

තරිඳු කත

නා. සඳකත් පහණ; චන්ද්‍රකාන්ත පාෂාණය.

තරු

1. නා.ප්‍ර. තාරකා; තරුව.
2. නා.ප්‍ර. ගස; රුක.
3. නා.ප්‍ර. නොමේරු ගෙඩිය; ළපටි පලතුරු ගෙඩිය.
වි. නොමේරූ; ළපටි.

තරු පහන

නා. තරුවලින් ලැබෙන ආලෝකය; තරු එළිය.

තරු පේනවා

1. (කථා.) ක්‍රි. දැඩි වේදනාවට පත්වෙනවා.
2. (රූඪි.) ක්‍රි. ක්ෂණිකව භය සහිත විස්මයට පත් වෙනවා.

තරුකා වේලාව

(කථා.) නා. තරු පායාගෙන එන වේලාව; සැඳෑ සමය; සන්ධ්‍යා කාලය.

තරුණ

1. වි. ළමා සහ වැඩිහිටි වයස් සීමා අතර කාලයට අයත්; තරුණ වියෙහි වූ.
2. වි. බාල; ළපටි; පරණ නොවූ; අලුත්; අභිනව.

තරුණ මදය

නා. තරුණබව නිසා ඇති වන අහංකාරය.

තරුණඟන

නා.ප්‍ර. යොවුන් වියේ ස්ත්‍රිය; තරුණ කාන්තාව.