සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 774

තෙදබල

නා.ප්‍ර. ප්‍රතාපයෙහි ප්‍රබලතාව; තේජෝබලය.
වි. ආනුභාවසම්පන්න; ප්‍රතාපවත්.

තෙදිය

නා. ස්වර්ග, මර්ත්‍ය, පාතාල යන තුන්ලොව; තිලොව.

තෙන

1. නා. තැන; ස්ථානය.
2. නා. කාලය; අවධිය.
3. නා. තනතුර; පදවිය.
4. නා. පුතා; පුත්‍රයා.
5. නා. තන; පියයුරු.
6. නා. ඊශ්වරයා.

තෙන තනතුර

නා. තමාගේ දූ දරුවකු නොවූවත් ඒ ආකාරයෙන් පිළිගනු ලැබීමේ තත්ත්වය; පුත්‍ර පදවිය.

තෙනනවා

ක්‍රි. සොරකම් කරනවා; සොරා ගන්නවා.

තෙනයන

[තෙ + නයන]
නා.ප්‍ර. (ඇස් තුනක් ඇත්තා) මහ දෙවියා; ඊශ්වරයා.

තෙනයනසතුරු

නා.ප්‍ර. ඊශ්වරයාගේ සතුරා; අනංගයා.

තෙන්මිරි

(කථා.) වි. කම්මැළි; කුසීත.

තෙනා

නා. හොරා.

තෙනා ගන්නවා

ක්‍රි. හොරකම් කර ගන්නවා; සොරා ගන්නවා.

තෙනැත්තා

නා.ප්‍ර. පුද්ගලයා; තැනැත්තා.

තෙනැන්නැහේ

නා. උසස් තනතුරකට පත් පුද්ගලයා; ඨානාන්තරලාභියා.

තෙනෙත්

නා. ඊශ්වරයා; මෙහෙසුරු.

තෙපර බානවා

ක්‍රි. ළත වෙවී ඉන්නවා; පමාවෙමින් සූදානම් වෙනවා.

තෙපල

නා. වචනය; වදන; කියමන.

තෙපලනවා

ක්‍රි. කියනවා; පවසනවා; ප්‍රකාශ කරනවා.

තෙප්ප කුට්ටිය

නා. (ධීව.) කුඹ ගස සවි කිරීම සඳහා ඔරුවෙහි සවිකර ඇති කුහරය සහිත දැවකඩ.

තෙප්පකුළම

නා. වැවකට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ ජලාශය; වතුර රඳා සිටින විශාල වළ.

තෙප්පම

නා. කලපුවල සහ නොගැඹුරු මුහුදේ මසුන් මැරීම සඳහා සැහැල්ලු ලීකොට තුනහතරක් එක් කොට සාදාගනු ලබන යාත්‍රා විශේෂය.

තෙප්පින්න

නා. පොළොව හෑරීම ආදිය සඳහා කෙළවරක් උල් කර සාදාගත් ලීය; ලී උල.

තෙප්පිරැට්ටිය

(කථා.) නා. යමක් කිරීමට ඇති මැළිකම; සැලකිල්ලට නොගැනීම.

තෙප්පුල

1. නා. කෙළවරක් උල් කර සාදාගත් ලීය; ලී උල.
2. නා. ඉන්න; හරක් බඳින කණුව.

තෙප්ල

1. නා. තෙපල.
2. නා. හෙල්ල; තෙබ.

තෙපාව

1. නා. පාද තුනක් සහිත ආධාරකය; විශේෂයෙන් ඉඩම් මැනීමේදී භාවිත කෙරෙන තියොඩලයිට්ටුව, කැමරාව ආදි උපකරණ තබන පාද එහා මෙයා කොට අවශ්‍ය පරිදි එක් තලයකට සකස් කරගත හැකි ඇකිළිය හැකි කකුල් තුනකින් යුත් ආධාරයකය.
2. නා. පිලිස්සීම සඳහා පෝරනුවෙහි ඇහිරීමේ දී පිඟන් මැටි භාණ්ඩ රඳවා තබන අවයවය.