සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 785

දක්ෂිණාලෝකය

නා. පෘථිවියේ දකුණු ධ්‍රැවාසන්න ඉහළ අහසේ දක්නට ලැබෙන අත්‍යලංකාර රතු - කොළ පැහැ ආලෝකධාරා සංසිද්ධියක්.

දක්ෂිණාව

1. නා. දන් දෙන වස්තුව; පිදීමට සුදුසු දාන වස්තුව.
2. නා. දානය; පූජාව; භික්ෂූන් වහන්සේලාට දෙන දානය.

දක්ෂිණාවර්ත

වි. දකුණට කරකැවුණු; දකුණට හැරුණු.

දක්ෂිණාවර්තශංඛය

වි. දකුණට හැරුණු හක්ගෙඩිය.

දක්ෂිණෙය්‍ය

වි. දක්ඛිණෙය්‍ය.

දක්ෂිණෝදකය

නා. දක්ෂිණාර්හ කෙනෙකුට ආහාර පාන, ගෘහෝද්‍යාන ආදිය කැප කිරීම පූජා කිරීම වැනි අවස්ථාවක ඒ සඳහා ආරාධනා කිරීමේ දී ප්‍රතිග්‍රාහකයා අත වත්කරන ජලය.

දකින මණ්ඩපය

නා. මහනුවර රාජ්‍ය සමයේ මඟුල් මඬුවටත් උඩු වාහල්කඩටත් අතර පිහිටි රාජකීය මණ්ඩපයක්; රජතුමා හමුවීමට විදේශ රාජ්‍ය නිලධාරීන් පැමිණි විට රජු අසුන් ගෙන සිටි මණ්ඩපය.

දකිනවා

1. ක්‍රි. (යමක් හෝ යමකු) ඇසට ගොදුරු වෙනවා; පෙනී යනවා; දෘෂ්ටිගෝචර වෙනවා; දර්ශනය වෙනවා.
2. ක්‍රි. වටහා ගන්නවා; අවබෝධ කරගන්නවා; ඥාන ගෝචර වෙනවා; ප්‍රත්‍යක්ෂ කරනවා.

දකුණ

1. නා. උතුරට ප්‍රතිවිරුද්ධ දිශාව; දක්ෂිණ දිශාව.
2. නා. සිරුරේ වම් අත තිබෙන පැත්තට විරුද්ධ පැත්ත; දක්ෂිණ පාර්ශ්වය.
3. නා. දක්ෂිණාංශික දේශපාලන මත දරන කණ්ඩායම.
4. නා. (පූජ්‍යයන්, දෙවියන් ආදින් විෂයයෙහි දෙන) දානය; දක්ෂිණාව.

දකුණත

[දකුණු + අත]
1. නා. සිරුරේ වම් අතට ප්‍රතිවිරුද්ධ පැත්තේ තිබෙන අත; දක්ෂිණ හස්තය.
2. නා. දකුණු පැත්ත; දකුණු අත පැත්ත.

දකුණත් කරනවා

ක්‍රි. (පූජාර්හ කෙනකු හෝ වස්තුවක් වටා) දකුණු අත යොමු වන සේ ගමන් කරනවා; ප්‍රදක්ෂිණා කරනවා.

දකුණත්සවු

නා.ප්‍ර. සර්වඥයන් වහන්සේගේ දකුණු පසින් වැඩ සිටින ප්‍රධාන අග්‍ර ශ්‍රාවක නම; අගසවු දෙනමගෙන් ජ්‍යේෂ්ඨ උතුමා.

දකුණැලය

[දකුණු + ඇලය]
1. නා. දකුණු කිහිල්ලට පහළ ඉඟටියට උඩ ශරීර ප්‍රදේශය; දකුණු ඇලපත; දක්ෂිණ පාර්ශ්වය; දකුණු අංශය.
2. නා. දකුණු අතේ පැත්ත; දකුණ පිහිටි දිශාව; දකුණු පස; දක්ෂිණ මුඛය.

දකුණු උදරාකාර කෝෂය

නා. හෘදය වස්තුවේ දකුණු පැත්තේ පහළින් පිහිටි (මල්ලක් වැනි කොටස) කුටීරය; දකුණු හෘද් කෝෂිකාව.

දකුණු කර්ණිකාව

(පාරිභා.) නා. හෘදය වස්තුවේ දකුණු පැත්තේ ඉහළින් පිහිටි කුහරය.

දකුණු ක්ලෝමය

(පාරිභා.) නා. ශ්වාසනාලයේ බෙදී යන අතු දෙකෙන් දකුණු පෙණහැල්ල කරා විහිදෙන ශාඛාව.

දකුණු කුරුස තරුව

නා. දකුණු අහසේ කුරුසයක හැඩය ගෙන පිහිටි තාරකා හතර.

දකුණු නළ

නා.බහු. ශරීරයේ දකුණු පස පිහිටි නාඩි; කොඳු ඇට පෙළට දකුණු පැත්තෙන් වූ නාඩි; පිංගල නාඩි.

දකුණු මන්‍යාව

(පාරිභා.) නා. උගුරේ හෝ බෙල්ලේ හෝ දකුණු පස පිහිටි මහ නහරය.

දකුණු මුව

නා. දකුණු පැත්ත.

දකුණු සක

නා. දකුණතට කරකැවුණු ආවර්ත සහිත හක්ගෙඩිය; දක්ෂිණා සංඛය; වාලම්පුරිය.

දකුණු හෘද්කෝෂිකාව

(පාරිභා.) නා. ශිරා මගින් දකුණු කර්ණිකාවට එන ලේ ලබා ගෙන තම බිත්ති හැකිළීමෙන් පුප්ඵුසීය ධමනියට යවන (හෘදය වස්තුවේ) දකුණු කුහරය.

දකුණුදසහිමි

නා.ප්‍ර. දකුණු දිශාවට අධිපතියා; යමරජ.

දකුණුපුට

නා.ප්‍ර. දකුණු නාසා සිදුර.