සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 786

දකුණුලක

නා. දක්ෂිණ ලංකාව; රුහුණු පෙදෙස.

දකුණුවත්

වි. දකුණට කැරකුණු; දකුණට ඇඹරුණු; දක්ෂිණාවර්ත

දග්ගසනවා

ක්‍රි. (යම්කිසි දෙයක් තවත් දෙයකින්) තළනවා; තළා පොඩි කරනවා.

දග්ධ

1. වි. දැවුණු; පිලිස්සුණු; පැලැහුණු.
2. වි. වැටහීමකින් තොර; මෝඩ; අඥාන.

දග්ධ මානය

නා. මෝඩකම නිසා හටගන්නා උඩඟුව; මුග්ධ අහංකාරය.

දග්ධ යෝගය

නා. (ජ්‍යෝති.) මුහුර්ත ශුද්ධ කිරීමේ දී දුරු කටයුතු මහා දෝෂවලින් එකක්.

දග්ධය

1. නා. පිලිස්සීමෙන් ඇති වන තුවාලය.
2. නා. අග්නිකර්ම චිකිත්සා ක්‍රමයට අනුව පිලිස්සීම.

දග්ධයා

1. නා. සල්ලාලයා; කාමුකයා.
2. නා. මෝඩයා; අඥානයා; මන්ද බුද්ධිකයා.

දග්ධිකා

නා.ප්‍ර. බත් හැළිය අඩියේ රොස් වුණු කොටස; බත් දංකුඩ.

දගිනවා

ක්‍රි. පිරිසිදු කරනවා; අමදනවා; සකස් කරනවා.

දඝ්න

නා.ප්‍ර. කිට්ටු වීම; ළං වීම; ස්පර්ශ කිරීම.

දඟ

1. නා.ප්‍ර. පාදයේ දණහිසින් පහළ පසු භාගයේ පිහිටි මස් ගොබය; ජංඝාව; කෙණ්ඩය; බත් කෙණ්ඩය.
2. නා.ප්‍ර. පෙරළිය; නොසන්සුන්කම; තක්කඩිකම; කලබලකාරී ගතිය; අවිනය.
3. නා.ප්‍ර. කපටිකම; කෛරාටිකකම; වංචාව; ප්‍රයෝගය; යටි උගුල.
4. නා.ප්‍ර. බන්ධනය; සිර කිරීම; අත් අඩංගුව; ග්‍රහණය; අවනත කිරීම; අල්ලා ගැනීම.
5. නා.ප්‍ර. හැකිල්ල; මාංචුව; විලංගුව.
6. නා.ප්‍ර. ඇතුන් බඳිනා දම්වැල.
7. නා.ප්‍ර. වෙළුම; ඇඹරුම.
8. නා.ප්‍ර. සර්පයන්ගේ දරණ.
1. වි. කොටු වුණු; හිර වුණු.
2. වි. නොසන්සුන්; නොතැන්පත්; පෙරළිකාර; තක්කඩි.

දඟ ඇටය

නා. දණහිසත් වළලුකරත් අතර පිහිටි දිග ඇටය; කෙණ්ඩා ඇටය; ජඞ්ඝාස්ථිය.

දඟ කනවා

(කථා.) ක්‍රි. ඇඹරෙනවා; වෙළුකනවා.

දඟ ගසනවා

1. ක්‍රි. නා පොළොං ආදි සර්පයන් තමන්ගේ ශරීර කඳ යමක පටලවා ගන්නවා; වෙළා ගන්නවා.
2. ක්‍රි. දඟර වැටෙන්නට ලණුවක් අඹරනවා.
3. ක්‍රි. හිර කරනවා; නොසැලෙන සේ වෙළා තද කරනවා.

දඟ ගෙය

නා. වරදකරුවන් හිරකර තබනු ලබන නිවාසය; හිර ගෙදර; බන්ධනාගාරය.

දඟ වැටෙනවා

ක්‍රි. ඇඹරුම් වැටෙනවා; වෙළු කැවෙනවා.

දඟ-පඟ

නා.ප්‍ර. දැඟලිලි ගතිය; කලබලකාර ස්වභාවය; විහිළු තහළු කිරීම; කොලොප්පම.

දඟකරනවා

1. ක්‍රි. තද කරනවා; හිර කරනවා.
2. ක්‍රි. (මන) බඳනවා; (සිත දැඩි සේ) ග්‍රහණය කරනවා; බන්ධනය කරනවා.
3. ක්‍රි. කලබල කරනවා; දඟකාර ලෙස හැසිරෙනවා.

දඟකාර

වි. දුවපැන ඇවිදින; දඟ ගතිය ඇති; කලබල කරන.

දඟර

1. වි. වක්‍ර වෙමින් යන; දෙපසට නැමි නැමී ගිය; වංගු වංගු නැවුණු.
2. වි. වළලු වශයෙන් නැමී ගිය; වලයාකාර ව වෙළුණු.
3. (පාරිභා.) වි. වටේට කරකැවී ගිය; රවුම් වශයෙන් විහිදෙන; සර්පිලාකාර.
1. නා. (රැහැන් පොටින්) වළලු වශයෙන් ඔතන ලද්ද; දරනය; දරණුව.
2. (පාරිභා.) නා. (ඉස්කුරුප්පුවක පොට මෙන්) වටා කරකැවෙන ලෙස තනන ලද්ද; රවුම් රවුම් වශයෙන් (වලයාකාරව) තැනුණු දෙය; සර්පිලය.
3. නා. සර්පාදින් කඳින් තනාගන්නා වළල්ල; දරණය.
4. නා. වෙළුම; ඇඹරුම.
5. නා. ගංගාවක දඟරාකාර නැම්ම, වක්කලම.

දඟර ගසනවා

ක්‍රි. ඇඹරුම් දමනවා; වෙළු කවනවා.

දඟර නිම්නය

නා. වක්‍ර වෙමින් ගලා යන ගංගාවක සැඩ පහර නිසා යටට හැරෙමින් සෑදෙන ගංදඟර මළු සහිත මිටියාවත; ගංදඟර මළු පංති සහිත පහත් බිම් තීරුව.

දඟරකඳ

(පාරිභා.) නා. මෝටර් වාහන ආදියෙහි යන්ත්‍රවල සවිකර ඇති ඍජුකෝණාකාර දඟරවලින් යුත් දණ්ඩ.