සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 784

දක

නා.ප්‍ර. දිය; ජලය; උදකය.

දක සෝතය

නා. ස්ත්‍රී නිමිත්ත.

දකපතිය

නා. ගොවියන් ලබා ගත් දියවර සඳහා වැව් හිමියාට පුරාණයේ දී ගෙවූ බද්ද.

දක්කනවා

1. ක්‍රි. දකින්නට සලස්වනවා; පෙන්නුම් කරනවා; ඉදිරිපත් කරනවා; ප්‍රදර්ශනය කරනවා.
2. ක්‍රි. ගවාදි සතුන් හෝ අදින රිය හෝ ගමන් කරවනවා; සතුන්ගේ හෝ රියවල ගමන මෙහෙයවනවා; ඉදිරියට යවනවා.
3. ක්‍රි. තමන්ට රිසි පරිදි අනිකකු ලවා ක්‍රියා කරවනවා; අනිකකුගේ ක්‍රියාමාර්ගය මෙහෙයවනවා.

දක්ඛිණ

වි. දකුණු; උතුරට ප්‍රතිමුඛ.

දක්ඛිණාව

නා. දක්ෂිණාව.

දක්ඛිණාවත්ත

නා. දක්ෂිණාවර්ත.

දක්ඛිණෙය්‍ය

වි. දක්ෂිණාව ලැබීමට සුදුසු; චීවරාදි සිවුපසය ලැබීමට සුදුසු.

දක්න පේනුව

නා. මෝටර් එන්ජිමේ කාබියුරේටරයේ කොටසක්; ඉන්ධන තෙල් මට්ටම බලාගැනීමේ සිදුරේ ඇබය.

දක්නපතය

නා. අණු දක්නයේ කාචයෙන් පිරික්සා බැලෙන වස්තුව තැන්පත් කොට තබා ගැනීම සඳහා කාචයට යටින් සවි කොට ඇති තළිය.

දක්නාසුල්ලා

[දක්නා + සුලු + ආ]
නා. දැකීමේ ශක්තිය ඇත්තා; දක්නා ස්වභාව ඇත්තා; දැකීමේ පුරුද්ද ඇත්තා.

දක්නාසුලු

වි. දැකීමේ ස්වභාව ඇති; දර්ශනශීලි.

දක්ෂ

වි. යම්කිසි කාර්යයක හපන්කම් ඇති; මහත් හැකියාවෙන් යුක්ත; සපන්; සමර්ථ; ශූර; නිපුණ.

දක්ෂපක්ෂ

වි. දක්ෂ; හැකියාවක් සහිත; හපන්; සමර්ථ.

දක්ෂිණ

වි. දකුණු.

දක්ෂිණ අක්ෂාංශය

නා. පෘථිවි කක්ෂයේ සමකයෙන් දකුණු කොටසේ පිහිටි අක්ෂාංශ; දක්ෂිණාක්ෂය.

දක්ෂිණ ධ්‍රැවය

නා. පෘථිවි කක්ෂයේ අක්ෂ දෙකෙන් දකුණෙහි පිහිටි අක්ෂය; පෘථිවියේ දකුණු කොන.

දක්ෂිණ බුද්ධාගම

නා. ලංකා, සියම්, බුරුම ආදි දකුණු ආසියානු රටවල පැතිර ඇති ථේරවාද බුද්ධ ධර්මය.

දක්ෂිණ සංඛය

නා. දකුණට කරකැවුණු හක්ගෙඩිය; දකුණු සක.

දක්ෂිණ සාගරය

1. නා. මහාමේරු පර්වතයට දකුණින් පිහිටා ඇතැයි සලකනු ලබන කල්පිත සාගරය.
2. නා. දක්ෂිණ ධ්‍රැවය වටා ඇති සාගරය; ඇන්ටාක්ටිකාව හාත්පස පිහිටි සාගරය.

දක්ෂිණාක්ෂ

නා.බහු. පෘථිවියේ නිරක්ෂයට දකුණින් පිහිටි අර්ධ ගෝලයේ නිරක්ෂය හා සමාන්තරව විහිදෙන අක්ෂාංශ වෘත්ත.

දක්ෂිණායනය

නා. සූර්යයා නිරක්ෂ රේඛාවෙන් දකුණට බර ව යන කල්පිත ගමන; ඒ ගමන් වීථිය; එසේ ගමන් කරන කාලසීමාව.

දක්ෂිණාර්ධ ගෝලය

[දක්ෂිණ + අර්ධ ගෝලය]
නා. පෘථිවි ගෝලයේ නිරක්ෂ රේඛාවට දකුණින් පිහිටි අර්ධය.

දක්ෂිණාර්හ

වි. දානය පිළිගැනීමට සුදුසු.