සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 800

දර්ශය

1. නා. කෘෂ්ණ පක්ෂයේ සඳ නොපෙනී ගොස් නැවත පෙනෙන්නට පටන් ගන්නා පළමු දිනය; පුර පෑළවිය.
2. නා. පුර පෑළවිය දිනයෙහි පවත්වන හෝම විධිය.
3. නා. නිදසුන; උදාහරණය.
4. නා. වර්ගය.

දර්ශී

වි. දක්නා; දකිනසුලු.
නා.ප්‍ර. දකින්නා; පෙනෙන තැනැත්තා.

දර්ශීය

1. වි. ආදර්ශයක් වශයෙන් දැක්විය හැකි.
2. වි. ස්වකීය වර්ගයට අයත් ගති ලක්ෂණ ඇති.

දරා

වි. මහලු; වයස්ගත; ජරපත්.

දරාන

1. (කථා.) නා. දර හේත්තු කර තබන ආධාරකය.
2. නා. කෙට්ටු වීම නිසා ඉළඇට පෑදුණු ශරීරයක් ඇත්තා.

දරාව

නා. පොළොව; පෘථිවිය; භූමිය.

දරිද්‍ර

වි. දුප්පත්; දිළිඳු; නිර්ධන.

දරිය

1. නා. දරුවා; පුතා.
2. නා. දැරිය; දුව.

දරිසි

වි. සියල්ල දන්වා වූ; සර්වඥ.

දරීමුඛ

නා.ප්‍ර. පර්වත විවරය; පර්වත කපොල්ල; ලෙනෙහි දොර.

දරීසය

නා.ප්‍ර. ලෙන් ගුහා බිළ ආදිය වාසස්ථාන කොට ගත් සතා.

දරු

1. වි. ළා; නොමේරු; නොපැසුණු.
2. වි. කුඩා; විශාල නොවූ.
3. (උද්භි.) වි. දරු ශාක පිළිබඳ.
නා.ප්‍ර. දර.

දරු දෙබින්න

නා. එක් කුස උපන් සහෝදර සහෝදරියන් දෙදෙනා.

දරු බොරදම

නා. ලොකු කැටයමක දාරය සරසන කුඩා කැටයම.

දරු මඟ

නා. දරුවා බිහිවන මඟ; යෝනිමඟ.

දරුකනටිය

නා. කුඩා ලියැද්ද.

දරුණු

1. වි. තද; දැඩි; උග්‍ර.
2. වි. බිහිසුණු; බියකරු; නපුරු; රෞද්‍ර,
3. වි. ඉතා අමාරු; සුව කළ නොහැකි; අසාධ්‍ය.

දරුදොළ

නා. දරුවකු පිළිසිඳ ගැනීමේදී ඇතිවන ආශාව; දොළදුක.

දරුපත

1. නා. දරුවකු ඉපදීම; ප්‍රසූතිය
2. නා. කුඹුරක මහ ලියැද්දට යාබද කුඩා ලියැද්ද.

දරුබොක්ක

නා. ගර්භාශය.

දරුමල

1. නා.ප්‍ර. දරු නමැති පාශය හෙවත් බන්ධනය; දරු බැම්ම.
2. නා.ප්‍ර. දරුවකුගේ අශුචි.

දරුමල්ලෝ

නා.බහු. දරු පිරිස; දරුවෝ.

දරුමා

නා.ප්‍ර. දරුවන්ගේ මව; දරුවන් ලද ස්ත්‍රිය.

දරුමා වෙනවා

1. (කථා.) ක්‍රි. දරුවකු රැකබලා ගැනීමේ ව්‍යාවෘත වෙනවා.
2. ක්‍රි. යම්කිසි වැඩකට උපකාරී ලෙස සහභාගී වෙනවා.