සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 866

දෙකැපුම

නා. දෑතට යොදා ඇති කතිර කැපුම.

දෙකුලුඳුල

නා. ද්‍රව්‍ය සහ ද්‍රව මැනීමේ පුරාණ මිම්මක්; පතක ප්‍රමාණය.

දෙකුලුඳුල්

(කථා.) වි. පවුල් දෙකක පළමුවෙන් උපන්; මුලින් ඉපදුණු.

දෙකේ කොළය

1. නා. කඩදාසි කුට්ටමේ අඩුම වටිනාකම සහිත කොළය.
2. (කථා.) (රූඪි.) නා. අගය නැතිබව; වැදගැම්මකට නැති වීම.

දෙකොන විලක්කුව

නා. සමහර තොවිල්වල දී පාවිච්චි කරනු ලබන දෙකෙළවරින් දල්වන කුඩා පන්දම් විශේෂය.

දෙකොන් තරගය

නා. දෙදෙනකු හෝ දෙපක්ෂයක් අතර එක එල්ලේ පැවැත්වෙන තරගය.

දෙකොන් පැනය

(කථා.) නා. නිගමන දෙකකට තුඩු දෙන ප්‍රශ්නය; උභතෝකෝටිකය.

දෙකොන්පොට ඇණය

(පාරිභා.) නා. මැද හැර දෙකෙළවරේම පොටවල් කපා ඇති ඇණය.

දෙගං(ම්) බ(බො)ඩ

නා. ගඟ දෙපස ප්‍රදේශය; ගං ඉවුරු දෙක; ගං ඉවුරු දෙකට යාබද පෙදෙස.

දෙගඩහාල්

නා.ප්‍ර. බාගෙට වේළුණු වී කෙටීමෙන් ලැබෙන හාල්.

දෙගම්බිත්තිය

නා. ගඟෙහි ඉවුරු දෙක; ගඟ දෙතෙර.

දෙගම්මැද්ද

නා. සමාන්තරව ගලන ගංගා දෙකකට මැදි වූ ප්‍රදේශය.

දෙගාරාව

1. (කථා.) නා. කඳු දෙකක් අතර දිය පාර.
2. නා. ගල් දෙකක් අතර කුඩා මාර්ගය.

දෙගිඩියාව

නා. අවිනිශ්චිත ස්වභාවය; තීරණයක් නැතිකම.

දෙගුණය

නා. දෙකෙන් වැඩි කරනු ලැබූ විට ඇති වන ප්‍රමාණය; ද්විත්ව වූ ප්‍රමාණය.

දෙගුරු

නා.ප්‍ර. මව සහ පියා; මව් පිය දෙදෙන.

දෙගොඩ තළා යනවා

ක්‍රි. ගං හෝ ආදිය උතුරා දිය ඉවුරු පැන යනවා; ගඟ දෙපස යට කරගෙන දිය ගලනවා.

දෙගොඩ වාරන්

(කථා.) නා.ප්‍ර. මුහුද හා ගොඩ දෙ දිසාවෙන් ම එකවර පැමිණෙන වැස්ස.

දෙගොඩහරි ජාමය

නා. රෑ මධ්‍යම යාමය; මැදියම් රැය; මධ්‍යම රාත්‍රිය.

දෙට

1. වි. වැඩිමහල්; ජ්‍යේෂ්ඨ.
2. වි. නායක; ප්‍රධාන.
3. වි. උත්කෘෂ්ට; උතුම්.
1. නා.ප්‍ර. නායකයා; ප්‍රධානියා; ප්‍රමුඛයා.
2. නා.ප්‍ර. සත්විසි නැකතින් එකක නාමය.

දෙටු පිළිවෙත

(පාරිභා.) නා. (නීති.) පවුලේ වැඩිමහලු පිරිමි දරුවාට දේපළ අයත්වීමේ ක්‍රමය.

දෙඩවිල්ල

1. නා. තේරුමක් නැති ව දිගින් දිගට කතා කිරීම; නිෂ්ඵල අර්ථ ශුන්‍ය කථාව.
2. නා. සිහිවිකලයෙන් කියන අසම්බන්ධ කතාව හෝ උමතුවෙන් හෝ කියන දෙය.

දෙණ

1. නා. ඔරුවක හැඩයට තනන පෙට්ටිය; පෝටිකාව; මංජුසාව.
2. නා. රෝගීන් බෙහෙත් දියෙහි බහාලීම සඳහා පාවිච්චි කරන ආධාරක විශේෂය; බෙහෙත් ඔරුවක හැඩය ඇති භාජන විශේෂය.
3. නා. මළසිරුර තැන්පත් කරන පෙට්ටිය; මිනී පෙට්ටිය; තුම්බය.
4. නා. වීණාවෙහි පහළ කොටසෙහි වූ වලයාකාර චෂකය; වීණා පොකුර.
5. නා. භාජනය; සැළිය.
6. නා. උස්බිම අද්දර පිහිටි බිම්කඩ.

දෙණිකඩ

නා. නිස්සාර වූ පුරන් වූ කුඹුරු කොටස.