සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 867

දෙණිය

1. නා. කඳු අතර මඩ බිම; නිම්නය; මිටියාවත.
2. නා. කුඹුර අද්දර පිහිටි ගොඩබිම; ඕවිට.
3. නා. වීණාවෙහි ඇති වලයාකාර කොටස; වීණා පොකුර.
4. (කථා.) නා. තුම්බය; මෘත දේහය තබා උසුලා ගෙන යන ගෙය.

දෙතන

1. නා. පියොවුරු දෙක; දෙතන මඬල.
2. නා. ස්ථාන දෙක; දෙතැන.

දෙතැරිය

නා. ගසක අතු දෙකක් බෙදී ගිය තැන; දෙබල.

දෙතිත

නා. විරුද්ධාර්ථ, නිදර්ශන, උද්ධෘත, අනුපාතය ආදිය දැක්වීමට යොදනු ලබන විරාම ලකුණක්.

දෙතිස

නා. තිස් දෙක.

දෙතිස්වධ

නා.ප්‍ර. පුරාණයෙහි රජවරුන් විසින් වරද කළ අය සඳහා දඬුවම් වශයෙන් නියම කළ වද තිස් දෙක.

දෙතෙර

නා.ප්‍ර. ජලාශයක ඉවුරු දෙක; එතෙර හා මෙතෙර; උභය තීරය.

දෙදරනවා

1. ක්‍රි. පැළෙනවා; දෙපලු වෙනවා; පුපුරා යනවා.
2. ක්‍රි. සැලෙනවා; කම්පනය වෙනවා.

දෙදිය

1. නා. මිරිදිය හා කරදිය යන දෙක.
2. නා. ඇල්දිය හා උණු දිය යන දෙක මිශ්‍ර කොට ඇල්මරා ගන්නා ජලය.

දෙදිව්

1. නා.ප්‍ර. දිව දෙකක් ඇති සර්පයන් වැන්නා; නාගයා; නයා.
2. (රූඪි.) නා.ප්‍ර. සත්‍ය වචනය නොමැත්තා; මුලින් එකක් කියා පසු ව අනෙකක් කියන්නා; බොරු කියන්නා; කේලාම් කියන්නා.

දෙදුම

නා. ගෙඩි දෙකකින් යුත් කොස් පොකුර; ගෙඩිය සහ මවු ගෙඩිය.

දෙදුරු

1. නා.ප්‍ර. සූදුරු මාදුරු යන දුරු වර්ග දෙක.
2. නා.ප්‍ර. නිතර දිය සීරාව ඇති පහත් බිම.
වි. දිරාගිය; පැළීගිය; දිරූ.

දෙන

1. නා. තිරිසන් සතුන්ගේ විශේෂයෙන් සිවුපාවුන්ගේ ගැහැනු සතා; ධේනුව.
2. නා. පුද්ගල සමූහය; ජනයා.

දෙනට

නා.ප්‍ර. (ජ්‍යෝති.) නැකත් විසි හතෙන් එකක්.

දෙනවා

1. ක්‍රි. ප්‍රදානය කරනවා; පිරිනමනවා; පිළිගන්වනවා.
2. (කථා.) ක්‍රි. ගැහැනු ළමයකු විවාහ කර දෙනවා; දීග දෙනවා
3. ක්‍රි. ජීවත් වෙනවා; දිවි ගෙවනවා; කල් ගෙවනවා.
4. ක්‍රි. උපදිනවා; ජනිත වෙනවා.

දෙන්නා දෙමාල්ලෝ

නා.බහු. අඹු සැමි දෙදෙනා; බිරිය හා සැමියා.

දෙනෙතා

නා.ප්‍ර. ජනතාව; ජන සමූහය.

දෙනෙතිය

(පාරිභා.) නා. දෑසට තබා බලන දුර දක්නය; බයිනොකියුලරය; චීනක් කන්නාඩිය.

දෙනෝදහසක්

නා.ප්‍ර. බොහෝ දෙනෙක්; දහස් ගණන් ජනයා.

දෙපට ලණුව

නා. පුරාණ සිංහල චිත්‍ර මෝස්තරයක්; ඍජු කෝණ ව යෙදූ පොල් අතු වියමනට සමාන චිත්‍ර මෝස්තරයක්.

දෙපණ බානවා

(කථා.) ක්‍රි. දමනය වෙනවා; වසී වෙනවා; දැපණයෙහි වැටෙනවා; අවනත වෙනවා.

දෙපත

නා. (ඇට වර්ග ද්‍රව ආදිය) මනින මිම්මක්; පත දෙක; මනාව; අඩ නැළිය.

දෙපත්

1. නා.ප්‍ර. කොළ දෙක.
2. නා.ප්‍ර. පැති දෙක.

දෙපත් නයා

1. නා. රතු, කහ, දුඹුරු පුල්ලි සහිත විෂ රහිත නාග විශේෂයක්.
2. නා. ඉදිරියට හා පස්සට ගමන් කළ හැකි දෙපසම සමාන වූ දික් පණු විශේෂයක්.
3. (කථා.) (රූඪි.) නා. දෙපසට ම කේලම් කියන ප්‍රතිපත්තියක් නැති තැනැත්තා.